බෙදාගන්න නෙවෙයි…..බදාගන්න….


ලිබියාව ගොඩනැගුවේ මුවම්මර් ගඩාෆි විසිනි. නමුත් ඔහු ඉතා දීර්ඝ පාලන කාලයක් ගෙන ගියේය. මුල් කාලීනව එම පාලනය ජනතාවට සෙතක් වුවද, පසු කාලීනව එය ජනතාවට බොහෝ කටුක එකක් වීය. එහෙයින් අවසානයේදී ලිබියාවේ පියාට ජනතාවගේම විරෝධතා හමුවේ මරු වැළද ගැනීමට සිදුවිය.

ඔන්න ඕකයි තත්වෙ. අපේ ලංකාවෙත් ඉන්නවානෙ ගඩාෆි කෙනෙක්. හැබැයි එයාගෙ පාලනේ ගඩාෆිගෙන්  තරම් ගන්න නම් දෙයක් නෑ. ඒත් ගඩාෆි තරම් දීර්ඝ කාලයක් පාලනය නම් කලා. හැබැයි ඒ රටක් නම් නෙවෙයි. තමන්ගෙ පක්ෂය.

ඔන්න ඉතින් දැන් මේ කියන කෙනා තමයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා. මෙයත් ඉතින් ගඩාෆි වගේ කියලා කිව්වෙ නිකම්ම නෙවෙයි. ගඩාෆිත් බලයට ඇති කෑදර කම නිසානෙ ලිබියාව අතෑරියෙ නැත්තෙ. මෙයත් ඒවගේ බලයට තියෙන පෙරේත කම නිසානෙ මේ පක්ෂය දාලා යන්නෙ නැත්තෙ.

ඉස්සර කාලේ නම් රනිල් මහත්තයා මේ පක්ෂෙ ඇතුලෙ බලයේ ඉන්න දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා. ඒත් මේ එක එක ගෝතයෝ ඇවිත් මේක වකූරු කරලා දැම්මනෙ. දැන් එතුමට පක්ෂෙ ඇතුලෙ කොන්ද කෙලින් තියාගෙන ඉන්නවත් විදියක් නෑනෙ. කැරළි කාරයො අම්බානට. එකෙක් නවත්තනකොට දෙන්නෙක් කැරළි ගහනවා.

ඉතින් මෙතුමා ගහන ගහන පැලෑන් ඔක්කොම අතේ පත්තු වෙන නිසා එකක්වත් හරියන්නෙත් නෑ. අනික මෙයාගෙ තියෙන්නෙත් ඔක්කොම දියාරු පැලෑන් නෙ. ඒවත් දෙන්නෙ මෙයාගෙ වටේ ඉන්න කේවට්ට සෙට් එකනෙ. ඒ කේවට්ට සෙට් එකෙන් තොර දැක්මක් මෙතුමට නෑ. රටේ ඉන්න ජනතාවගේ අදහස් හා යෝජනා සළකන්නෙත් නෑනෙ. මේ කේවට්ට රැළ කියන ඕනම ඔලමොට්ටල වැඩක් දෙපාරක් නොසිතාම ක්‍රියාත්මක කරන මෙතුමා හැම වැඩේම නාගන්නවා.

ඔය කේටව්වාරීන්ලාගේ බණ අහන මේ රටේ මිනිස්සුත් අම්බානට නන්නත්තාර වෙලා ඉන්නෙ. කස්ටියක් කියනවා මෙතුමට කව්රු නැතත් ජාතියන්තරේ ඉන්නවැයි කියලා. අනේ ඉතින් ‍මේ ලංකාවේ ඉන්න මිනිස්සු නැතුව ඔය ජාතියන්තරේ අය එක්ක අහවල් කෙංගෙඩියක් කරන්නයැ. එතුමට කඩේ ගිහින් පෝස්ටර්පාරක් හරි ගහන්න ඉන්නෙ ජාතියන්තරේයැ.

රට ගොඩ ගන්න නිවැරදි දැක්මක් තියෙන්නෙ මෙතුමට විතරයි කියනවනේ. ඔව් ඉතින්, තව ටික කාලයක් අර පිරබාහරන් හිටියා නම් ඒකම තමයි වෙන්නෙ. රට කෙසේ වෙතත් කොටියා නම් ගොඩ යනවා ෂුවර්. මතකනේ පිරබාහරන්ට දීපු වයර්ලෑස් එකෙන් අපිටම නෙලපු හැටි.

හැබැයි ඉතින් ඔය රට ගොඩ ගන්න පැලෑන් එක ටිකක් පැත්තකින් තියලා තමන්ගෙ පක්ෂෙ ගොඩ ගන්න විදියක් කල්පනා කොලා නම් ඊට වඩා හොදයි කියලා අර කේවට්ට සෙට් එකටවත් හිතුනෙ නැති එකනෙ පුදුමෙ. ගඩාෆි මහත්තයා නම් මොනවා කලත් රට ස්ථාවර ආර්ථික මට්ටමකට ගෙනාවා. මෙතුමගේ ඉතින් කයිවාරුව විතරක් තමයි පේන්න තියෙන්නෙ.

මැතිවරණ කාලෙට මොකක් හරි ගොං පාට් එකක් දාලා මිනිස්සුන්ට ආතල් එකක් දීලා ඔය මුඩුක්කු පැත්තෙ ඉන්න ගෑනූ සෙට් එකක් අරගෙන පාරවල් ගානෙ ජෝගි නටනවා ඇරෙන්න වෙන නම් මොකුත් කරලා නෑ කියලයි මිනිස්සු නම් කියන්නෙ. මේ ලගදි මෙතුමයි එතුමගේ තව තුමෙකුයි  ටුක් ටුක් එකක ගියානෙ. ඒ කියන්නෙ ත්‍රීවීලර් එකක. ඒ ගියේ ජනතාව අතරට යන්න තියෙන වැදගත් ක්‍රියාවලියක රැස්වීමකට.

ඔන්න ඉතින් අපේ ලංකාවේ මීඩියා සෙට් එක ඕක දැම්මා හරියට නිකං මෙතුමා තමයි ලෝකෙන්ම ත්‍රීවීලරේක ගිය එකම කෙනා විදියට. හැබැයි ඉතින් මෙතුමගේ ඔය පොඩි පොඩි ගමන් බිමන් වලට නම් ඔය ටුක් ටුක් ගන්නෙ නෑ. ඒවා මතක් වෙන්න, දුප්පතාගෙ වාහනේක යන්න නම් ඉතින් මැතිවරණයක්ම එන්න ඕනෙ. නැත්නම් ඉතින් ලීටරේට කිලෝමීටර් හතරක් වත් යන්නෙ නැති මොන්ටේරො තමයි.

කෙනෙක් කියයි ඔය ඉරිසියාවට කියන්නෙ කියලා. අනේ ඉතින් ලංකාවේ මහජනතාවගේ බදු මුදල්වලින් නැතුව තමන්ගෙ මුලු සබ්බ සකලමනාවම වියදං කරගෙන කෆීර් එකක ගියත් මට නම් කිසිම රුදාවක් නෑ ඕං.

හැබැයි වැඩේ තියෙන්නෙ මේ කිසිම වැඩක් නොකර ජනතාවගෙන්ම නඩත්තු වෙන එකනෙ. ලංකාවට දැන් ප්‍රබල විපක්ෂයක් ඕනෙයි කියන තැන තමයි හැමෝම ඉන්නෙ. එහෙම නැති නිසානෙ මේ මහ රජතුමා සහ ගෝල පිරිස  ඕන ඕන විදියට ජෝගි නටන්නෙ. අනේ ඉතින් මේ විපක්ෂ නායක තුමාට පිං සිද්ධ වෙන්න රජතුමාට නම් කිසිම අවුලක් නෑ ඕං.

මීට වඩා තමන්ගෙ පක්ෂ සාමාජිකයො අතර සමගිය ගොඩනගන්න, රටට බලපාන අහිතකර දේශපාලනික ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කරන්න සහ විපක්ෂයක වගකීම කුමක්ද කියලා ටිකක් හොයලා බලලා වැඩ කලානම් හොදයි නේද..?

දැන් අලුත්ම කලාවක් මේ පක්ෂ වලට බෝවෙලානෙ. ඒ තමයි පිල්. රනිල් පිල, කරූ පිල, සජිත් පිල සහ තවත් මෙකී නොකී පිල් තියෙනවා ඇති වෙන්නම. පක්ෂ නායකත්වය සර්ව සාධාරණව විනිවද භාවයකින් යුතුව කටයුතු නොකිරීම නිසයි මේ පිල් බෙදෙන්නෙ. අනිත් කාරණාව මේ පක්ෂ වල ඉන්න සාමාජිකයින්ටත් කාලයක් යනකොට අං මතුවෙන්න ගන්නවානෙ. එතකොට හිතෙනවා මේ නායකයා හරියන්නෙ නෑ මටත් පුලුවන්නෙ නායකයා වෙන්න කියලා. ඔන්න ඉතින් පටන් ගන්නවා ගේම.

ඊට පස්සෙ තමන්ට හිතවත් කඩේ යන මීඩියා සෙට් එකක් අල්ල ගන්නවා ඉස්සරවෙලාම. නායකයගේ මොකක්හරි දුර්වල තැනක් බලලා දෙනවා ප්‍රචාරය නැතිවෙන්නම. ඔන්න දැන් ඉතින් මිනිහා තමයි පොර. ඊට පස්සෙ වටේ පිටේ ඉන්න පගර නැට්ටො කීප දෙනකුත් අල්ලගෙන හදාගන්නවා පිලක්. ඊට පස්සෙ ඒ  පිල ප්‍රොමෝට් වෙනවා මීඩියාවල. දැන් ඉතින් පොරට හෙන චූන්. ඉතින් පක්ෂෙ කෑලි වලට කඩනවා. ඔන්න ඕකයි පිලේ ආරම්භය.

අන්තිමට පාක්ෂිකයො බහුතරයක් හිටපු පක්ෂය කෑලි වෙලා අමුතුවෙන් පාක්ෂිකයො හොයන්න වෙනවා. ඊට පස්සෙ දෙගොල්ලො මරාගන්නවා. අන්තිමට තම තමන්ගෙ වගකීම සහ පක්ෂයක් විදියට රටට විය යුතු වගකීම මතක නෑ. බලයට කෑදර කමේ මරාගැනිල්ල ඇරෙන්න වෙන වැඩක් නෑ.

කොහොම වුනත් රනිල් මහත්තයා නම් හැමෝටම එපා වෙච්ච ඇල්ටෝන් චරිතයක් වෙලා හමාරයිනෙ. අනේ ඉතින් මෙච්චර කාලයක් ලංකාවේ ප්‍රධාන විපක්ෂය හැටියට හිටපු එක්සත් ජාතික පක්ෂයත් දියාරු වෙලානෙ. ඒකනේ මේ දෙවියො නැති තැන යක්ෂයො බල්ටි ගහන්නෙ. දැන් ඉතින් ඔය කොයි පිල නායකයා වුනත් වැඩක් නම් සිද්ද වෙයි කියලා හිතන්න බෑ. මොකද එවුනුත් ඉතින් මේ ලංකාවේ දේශපාලන කැද හැළිය ඇතුලෙම තෙම්පරාදු වෙලා තැම්බිලා චොර වෙලා ඉන්න සෙට් එකක්නෙ. ඔය කොයි එකත් එකයි. බලයට පොර කනවා මිසක් සැබෑ ආදරයක් රටට වත් ජනතාවට වත් නෑ.

කියන්න තියෙන්නෙ මෙච්චරයි….. මෙච්චර කාලයක් කලා වගේම ඔය ඉතුරු ටිකත් බදාගෙන හිටපල්ලා. මෙහේ පොඩි එවුන්ට උගන්වනවා බෙදාගෙන කන්න කියලා. මුන් බදාගෙන කනවා. තව කාපල්ලකො. එතකොට ගඩාෆිට වෙච්ච දේම ඔය කොයි කාටත් වෙන හැටි බලාගන්ට බැරියැ.

ඒක නිසා රනිල් මහත්තයෝ දැන්වත් ඔය මල මගුල් නායක කම ඕන එකෙකුට කොරගන්ට දීලා ගෙදර යන්ටකො අප්පා…

-සටහන –  විකී

2011/10/26

කියාපංකො වාසි අතට හෝයියා…..


ලිබියාවේ හිටපු නායක මොහම්මර් ගඩාෆි ඇමරිකාවේ නේටෝ සංවිධානය ප්‍රමුඛ කැරළිකරුවන් විසින් අත්අංගුවට ගෙන ඝාතනය කලාය.

අනේ ඉතින් මේ සීන් එක ආරංචිවුන වෙලාවේ ඉදන් ලංකාවේ කෝටි දෙකක් පමණ වන මහ ජනතාවට මේක අදහගන්න බැරි වුනා අප්පා. කොටින්ම කිව්වොත් මේක තාමත් හීනයක්.  ලංකාවේ ජනතාව හඩා වැලපෙනවා. බලන බලන කෙනාගෙ මූණෙන් දුක බේරෙනවා. මටත් ඇඩෙනවා අයියො.

මෙහෙම දුක් වෙලා විතරක් අපේ ලංකාවෙ කස්ටිය නිකන් ඉදී කියලා හිතුවද..? පිස්සුවක් ඇතෑ. එහෙම ඉන්නෙ නෑ. නේටෝ කාරයො මේ කරපු අසික්කිත, අශෝබන, නින්දිත, කූජිත ක්‍රියාව ගැන වහාම විධිමත් පරීක්ෂණයක් කරලා වාර්තාවක් දෙන්න කියලා අපේ ලංකාවෙ නායකයා දැන්වලා යැව්වා.

බලන්න පේ නායකයො කොයි තරම් මානව හිතවාදී, සාධාරණ, ස්වාධීන කට්ටියද කියලා. ඔන්න දැන් තමයි ඇමරිකාවට තරු විසිවෙලා තියෙන්නෙ ඕං. ලෝකෙ කොයි තරම් රටවල් මේ ඝාතනය සම්බන්ධයෙන් කට වහගෙන හිටියත් අපේ ලංකාව නම් ලේසියෙන් අරින්නෙ නෑ ඕං. අපේ ජනාධිපත් තුමා පෙන්නුවා උන්ට අපේ තරම.

මේ අහිංසක ගඩාෆි මහත්තයාව අමු අමුවේ මරලා දැම්මා. මානව හිමිකම්, යුද නීති තඹ සතේකට මායිම් කරලා නෑ මේ ඇමරිකන් කාරයො. අපේ අටමගුල් නම් හොයන්න එනවා. ඒත් ඒගොල්ලො කරන ඒවා හොදයි. කිසි දේකට බයවෙන්න දෙයක් නෑ. මේ ගේම් එකට අපේ ජනාධිපති තුමා බැහැලා ඉන්නෙ. මෙදා සැරේ නම් ඇමරිකාව පාඩමක් ඉගෙන ගනියි. ගඩාෆි මහත්තයාගෙ වටිනාකම ගැන ටිකක් කියලා ඉන්නම්කො ඉස්සර වෙලාම.

ගඩාෆි මහත්තයා ඒ කාලෙ අන්ත පරිහානියට පත් වෙලා තිබ්බ ලිබියාව නැගිට්ටලා ගත්තා. හොද පරිපාලනයක් ගෙන ගියා. සැබෑ මානව හිතවාදී, පුජාතන්ත්‍රවාදී පාලකයෙක්. ඔය එක එක දේවල් කොලා කියලා එක එකා කියනවා. ඒවා ගණන් ගන්ට කාරිනෑ ඕං. කොටින්ම කිව්වොත් ඒකාධිපති පාලකයෙක්. ඒ කියන්නෙ හරිම ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක්. ඉතින් මෙතුමා වගේ කෙනෙක් ලෝකෙට අහිමි වීම පොඩි කෙළියක් යැ. ඔන්න ඉිතින් අපේ ලංකාවේ නායකයට මල පැනලා ආයිත් පැන්න මේක අහපු ගමන්. අපේ නායකයා බැස්සා ගේමට.

දැක්කනේ ලංකාවේ කොටියට ගහපු ගැහිල්ල. උන්ට ඇපත් නෑ. ඒ සටනට නායකත්වය දීපු ජෙනරාලුත් හිරේ දැම්මා. මොකද ඒ..?? ජෙනරාල් කරපු අලුකුත්තේරු වැඩ නිසා. ඒවායින් කාලක් වත් මේ ගඩාෆි මහත්තයා කොරලා නෑ අප්පා.

එතකොට බලන්න භාරත – දුම්න්ද කේස් එක.. භාරත එයාම වෙඩි තියාගෙනනෙ අප්පා. මේ අහිංසක දුමින්දව මාට්ටු කලා අපේ දුෂටයො එකතු වෙලා. භාරතගෙ සෙට් එක වෙඩි තියලා දුමින්ද මහත්තයට අම්බානක අමාරුයි. ඒ මැර භාරතගෙන් වැඩක් නෑ. අපේ ලංකාවට වටින්නෙ දුමින්ද මහත්තයා. බලන්න කොච්චර විනිවිධ භාවෙකින් යුතුව ඒ පරීක්ෂණ කෙරෙනවද කියලා. ඒ පරීක්ෂණ වලට ගිය පොලෝසියෙ ලොකු මහත්තුරු මාරු කරේ වෙන දෙයක් නිසා නෙවෙයි. ඒ පරීක්ෂන හරියට කරන්නෙ නැති නිසා. ගඩාෆි මහත්තයා ගැනත් මේ වගේ පරීක්ෂණයක් අවශ්‍යයි කිව්වෙ එතනත් අක්‍රමිකතා සිදුවෙලා තියෙන නිසා.

එතකොට ලංකාවෙ හිටපු මාධ්‍ය වේදියො මැරුවා. ඒ ගැන පුලුල් පරීක්ෂන පවත්වලා වැදිකරුවන්ට කොච්චර දඩුවම් දුන්නද අප්පා…. ලසන්ත වික්‍රමතුංග මැරුවා. රිචඩ් සොයිසා මැරුවා. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්. ඒවට සම්බන්ධ හැමෝටම උපරිම දඩුවම් දෙන්න අපේ රාජපක්ෂවරු පසුබට වුනේ නෑ. ඕවා නිකං අරින්න අපේ ජනාධිපති තුමා ඉඩ දෙන්නෙ නෑ ඕං.

ඇමරිකාව GSP + නැවැත්තුවා. මොකද ඒ..? අපේ ලංකාවට ගේම දෙන්න. එව්වා කොහෙද. ඇමරිකාවෙ ඔබාමට දෙකට නැමෙනවද අපේ නායකයා. දුන්නා ටෝක්ස් එකසිය ගානට.  ආන්ඩුවෙ මාධ්‍ය වලින් දුන්න ගේමට ඇමරිකාව හොල්මන්. ඔය යස අගේට දුන්නෙ ආයිත්. කට්ටිය නම් කියනවා එක එක දේවල්. ඒ දුෂ්ටයො. දේශ ද්‍රේහියො. ඔවා ගණං ගන්න ඕනෙ නෑ.

ලංකාවේ වෙච්ච යුද අපරාද, මානව හිමිකම් කඩවීම්, පාතාල කේස් ඔක්කොටම අපේ නායකයා තිත තිබ්බා. ඒ විධිමත් පරීක්ෂණ කරලා. ඒ විතරක් නෙවෙයි, ඒවට සම්බන්ධ සැකකරුවන් ඇල්ලුවා. ඒ එක්කෙනෙක් දෙන්නෙක් අත්අඩංගුවේදිම මැරුනා තමයි. නමුත් ඒවා ඒතරම් ගණන් ගන්න දේවල් නෙවෙයි අප්පා.. අනික ඒ මැරුනෙත් ඒ සැකකරුවන්ම රාළහාමිලාගෙ තුවක්කු උදුරගෙන වෙඩි තියාගෙන.

මේ වගේ ලෝකෙ එක එක විදියෙ ඝාතන වුනා. මිනිස්සු සමූල ඝාතනය කලා. වැදගත් නායකයො අමු අමුවෙ මැරුවා. මානව හිමිකම් අම්බානට කඩ කලා. ඒවා කොහොම වුනත් මේ ගඩාෆි මහත්තයා  මැරුව එකෙන් තමයි ලෝකෙ රටවල් මෙදා සැරේ ලංකාවේ නායකයගෙන් හොද පාඩමක් ඉගෙන ගන්නෙ. අපේ මේ දුෂ්ට මිනිස්සු නම් කියනවා ගඩාෆි එක්ක තිබ්බ හොර ගේම් නැති වෙච්ච දුකට මෙහෙම කරන්නෙ කියලා. අනිත් එක අපේ ලොක්කා මේ පොර වෙන්න හදන්නෙ කියලා. හුහ්..උන් දන්න ඉටිගෙඩිය. ඕකුන් දේශ ද්‍රෝහියො. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කාරයො. සුද්දට කඩේ යන එවුන්.

කොහොම වුනත් දැන් ඉතින් ඇමරිකාව සෙල්ලම් දාලා හමාරයි. ඔය එක එක රටවල් වලට දාන සිංහ පාට් ලංකාවට දැම්මොත් ඉතින් සොරිම තමා. ලෝකෙම පරද්දවන්න බෑ කියපු යුද්දෙ අපේ රාජපක්ෂවරු දිනුවා නම්.. අනිත් ඒවා මොන කජ්ජක්ද.

දැන් ඉතින් ගඩාෆි මහත්තයා මැරුව එක ගැන දීපල්ලකො උත්තර.

-සටහන – විකී.

2011/10/24