ගුරුවරුන් අල්ලස් ගන්නා ගුරු දිනය…


අපේ පොඩි එකා උදේ පාන්දර නහයෙන් අඩනවා.  ටීචර්ට තෑග්ගක් දෙන්න ඕනෙ කියලා. මම ඇහුවා අයි ටීචර්ට තෑගි කියලා. ගුරු දිනේටලු.

වරදකුත් නෑ ඒකෙ. ගුරුවරුන්ට කලගුණ සළකන්න ඕනෙ. ඒත් මූ කියනවා ලොකු තෑග්ගක් ඕනෙලු. නැත්තන් ඉස්කෝලෙ යන්න බැරිලු. මොකක්ද යකෝ ඒ හරුපෙ කියලා මම උගෙන් ඇහුවා.

ඌ මෙන්න මෙහෙම කියපි.

ඇයි මාමෙ දන්නෙ නැද්ද. ගුරු දිනේට ළමයි එක එක තෑගි ගෙනෙල්ලා ටීචර්ලට දෙනවා. සමහර ටීචර්ලා දෙන්න ඕන තෑග්ග මොකක්ද කියලා කියනවා. ඒවා දුන්නෙ නැත්තං අපි කොන් වෙනවා.

හුටා පරිජාලං කිව්වලු…. අපි ඉස්කෝලෙ යන කාලෙ එහෙම විජ්ජුම්බරයක් තිබ්බෙ නෑනෙ. අපි කරන්නෙ ගුරුවරුන්ට බුලත් දීලා වදින එක. මෙන්න ඒක අහලා මූ කියනවා…..හුහ්… ඒ ඉස්සරනෙ  මාමෙ දැන් ඒවා හරියන්නෙ නෑ. ලොකු තෑග්ගක් නැතුව මම ඉස්කෝලෙ යන්නෙනෑ. එච්චරයි.

හුහ්..මුගේ තියෙන ගනකම කියලා මම හිත හිත මම පාරට බැස්සා. අප්පටසිරි ගජ….ළමයි එක එක තෑගි කරගහගෙන යනවා. සමහර තෑගි ගෙනියන්නෙ අම්මා. ළමයට වඩා තෑග්ග ලොකුයි.

මම හෙමීට කිට්ටුකලා එක අම්ම කෙනෙක් ලගට.

‘‘අනේ කියලා වැඩක් නෑ පුතේ. මේ දැන් ටීචර්ලට තියෙන රුදාවක් අම්මපා. මේ ළමයට කියලා සාරියක් ගේන්න කියලා. ටීචර්ලට සාරි තියා මට වත් සාරියක් ගත්තෙ නෑ මතක ඇති කාලෙක. මොනවා කරන්නද. සල්ලි තියෙන එවුන් ලොකු ලොකු තෑගි ගෙනියනවනෙ. ඉතිං මේ නැති බැරි අපේ එවුන් කොන් වෙනවා. ටීචර්ලත් අවධානෙ දෙන්නෙ ඊට පස්සෙ අර ලොකු තෑගි දීපු ළමයින්ට විතරනෙ.  ඉතින් මේ ණය වෙලා ටිකක් වටින සාරියක් අරගෙන දුන්නා. “කිරි අපුච්චචේ……. මෙහෙමත් ටීචර්ලා හැබෑට. අපි ඉස්කෝලෙ යන කාලෙ ටීචර්ලා නැති බැරි ළමයින්ට පොත්, ඇදුම් වගේ දේවල් අරගෙන දුන්නා.

දැන් මේකත් විලාසිතාවක් වෙලා. මේ ගුරුවරුන්ට මතක්කරලා දෙන්න වටිනවා  ගුරු සේවය කියන එක ගැන. ජනප්‍රිය පාසල් වල මේක ඉස්සර වෙලාම පටන් ගත්තෙ. දැන් දැන් ගමේ ඉස්කෝලෙ ගුරුවරුත් මේ විදියට ළමයින්ගෙන් අල්ලස් ගන්නවා. ගොඩක් පාසල්වල ඉන්නෙ නැති බැරි දුප්පත් අම්මලා තාත්තලාගෙ ළමයි. ඉතින් ඒ අයට මේ කියන විදියට ගුරු උපහාර පවත්වන්න හැකියාවක් නෑ. අනික මේ  පාසල්වල ඉන්නවා මකන කෑල්ලක් වත් ගන්න සල්ලි නැති අසරණ ළමයි. ඒ ළමයින්ට කොච්චර මානසික පීඩනයක්ද මේ වැඩේ. සල්ලිකාර ළමයි එක එක විච්චූරණ දේවල් ටීචර්ලාට දෙනකොට අන්ත අසරණ වෙලා හූල්ලනවා හැර ඒ ළමයින්ට වෙන කරන්න දෙයක් නෑ.

තවත් පාසලක ටීචර්ලා සින්දු කිය කියා ඩෙස් උඩ හිටන් නැගලා නැටුවා කියලා ආරංචියි… ගුරුවරුනේ..මේ වැඩ හිරිකිතයි..අශෝබනයි..අශිෂ්ටයි… කූජිතයි නේද…??

අනේ ගුරුවරුනේ……. උතුම් වූ ගුරු සේවාවට නිගරු කරන්නෙ නැතුව තමන්ගෙ සේවය නිසි විදියට ලබා දෙන්න. ළමයින්ගෙ ඇස් පාදන එකම ඇති ඔබලාට ආත්ම ගණනක කරපු පව් දුරු වෙන්න.

සටහන –  විකී.

2011/10/08

Comment එකක් දාන්න