ජඩ දේශපාලනයේ විපාක….


                  තවත් දේශපාලඥයෙක් මරු වැලද ගත්තේය. ඒ …ලංකාවේ එදාමෙදා තුර ක්‍රියාත්මක වූ දේශපාලනික ව්‍යුහයේ බල්ටි ගැසූ  කෙරුම් කාරයින්ගේ අනුහසිනි.  මේය ලංකාවේ දේශපාලන කරළියේ තවත් එක් ඝාතනයක් පමණි. තවත් බොහෝ ඝාතන ඉදිරියේදී ද බලාපොරොත්තු විය හැකිය. එනම්,..මතු සම්බන්ධය.

ශ්‍රී ලංකාව වැනි කුඩා රටක දේශපාලඥයින් අම්බානක සිටිති. එහෙත් පාලනය වන දේශයක් නම් පෙනෙන තෙක් මානයේ නැත. එක එක ගිනි විජ්ජුම්බර මැද්දේ තම තමන්ගේ මඩිය තරවන බවක් පමණක් දිනෙන් දින දක්නට ලැබේ. රටකට දේශපාලඥයින් අවශ්‍ය වන්නේ ඇයි..?

යම්කිසි රාජ්‍යයක සිටින මහ ජනතාව හෙවත්  මී හරක් රැළ නිසියාකාරව පාලනය කිරීමට හා ඔවුනට අවැසි අඩුමකුඩුම දේ නිසියාකාරව ලබා දී ජනතාවට ලැබිය යුතු  පහසුකම් ලබා දීම සදහා මහ ජනතාව විසින්ම දේශපාලඥයින් තෝරා පත්කරගනු ලබයි.  මේ පත්කරගනු ලබන්නේ ඇත්ත වශයෙන්ම ජනතාවට ආදරේ දක්වන අවංක පුද්ගලයින් දැයි කෙනෙකු ඇසුව හොත්…??

අහිසංක ජනතාවගේ කර පිටින් මැති සබේට රිංගන මෙවන් දේශ පාලුවන් ඉන්පසු හැසිරෙනුයේ කටුස්සන්ගේ කරේ රත්තරන් බැන්දා සේය. තමාට ලැබී ඇත්තේ විශාල වරමක් බව මොවුන් සිතයි. ඒ සිතිවිල්ලට අවැසි වටපිටාවද පවතින ආණ්ඩුව විසින්ම ලබා දෙති.

බේබද්දන්, කුඩු කාරයින්, පාතාල මැරයින් සහ සමාජයට පිළිලයක් වූ කැනහිලුන් මෙසේ දේශපාලනයට ඈදා ගන්නේ පෙර කී මහ ජනතාව නම් ගොන් රැළ වීමද විශේෂත්වයකි.  අහක සිටින නයි රෙද්ද පල්ලේ දමාගෙන කෑ ගැසීමට පමණක් දන්නා අපේ ජනතාව, පසුව දෙස් දෙවොල් තැබුවාට කිසිදු පලක් නොවන බව කොතෙකුත් කීවද පලක් නැත.

ජනප්‍රිය සංස්කෘතිය වශයෙන් අද පෙරට පැමිණ ඇති පිළිකාව තුලින් මේ විනාශ වන්නේ රටේ අනාගතය නොවේ දැයි කෙනෙකු ඇසුවහොත්, ඒ අමු පිස්සෙකි. ඒ නිගමනයට ජනතාව ඇද දමා ඇත්තේද ලංකාවේ සිටින සුචරිතවාදී දේශපාලුවන්මය.

දේශපාලනයට පිවිසෙන මෙවන් කුඩුකාරයින් හා පාතාල කාරයින් ජනතාවට අවංක සේවයක් කරන්නේ කෙසේ දැයි සිතීමට වත් ලංකාවේ මිනිසුන් මැලි කමක් දක්වති.  පුලුවන් තරම් මුට්ටිය අල්ලන්නේද ඔවුන්ටමය.  තමන්ට ලද වරප්‍රසාද උපයෝගී කොට ගනිමින් අවංක ජනතා සේවයේ නියැලෙන කෙනෙකු සෙවීම කලු නික සෙවීමටත් වඩා අසීරු දෙයකි. මිනිසුන්ට ඉතා සුලු උදව්වක් කිරීම තුලින් මෙවන් දේශපාලුවන්ගේ කලු පැල්ලම් මත සුදු තීන්ත ආලේප කිරීමට ජනතාව යොමු වීමද ඉතා කණගාටුදායක කරුණකි.  කොතෙක් කෑ ගැසුවද අපේ ජනතාවට රට දැය ගැන කිසිදු රුදාවක් නැත. තමන්ට ලැබෙන වාසිය මත රටට හෙණ ගැසුවත් එවන් අයට කිසිදු ගැටලුවක් නැත.  එසේ නොවේ නම්,..මෙවැනි පාතාලයින් දේශපාලඥයින් කිරීමට ඡන්දය දෙන්නෙ නැත.

ජනතාවගේ කතිරයෙන් දේශපාලන කරළියට පැමිණ ජනතාවටම කොකා පෙන්වා රිසි රිසි සේ බල්ටි ගසන මෙවන් අපරාධකරුවන් රැකීමට ආණ්ඩුවද කටයුතු කිරීම කොතෙක් සාධාරණ දැයි සිතා බැලිය යුතුය.  කුඩ්ඩන් යනුවෙන් හංවඩු ගසා කුඩු පැකට් එකක් සමගින් අල්ලා ගන්නා මිනිසෙකුට ලබා දිය හැකි උපරිම දඩුවම් ලබා දීමට ලංකාවේ නීතිය පසුබට නොවුනත්, මහා පරිමාණ කුඩු ජාවාරම් කරන දේශපාලුවන් නොපෙනෙන්නේ මන්දැයි සිතාගත නොහැකිය.

බලයට ඇති කෑදර කම නිසා ඕනෑම ජඩ බලු වැඩක් කිරීමට ලංකාවේ දේශපාලුවන් දෙවරක් සිතන්නෙ නැත.  තම විරුද්ධ වාදීන් පාගා අතුගා දමන්නට තරම් බලයක් මෙවන් දේශපාලුවන් හට ලබා දුන්නේ කවුද..? මොවුන් සිදුකරන අසමජ්ජාති ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ එකදු අවස්තාවක් නැත. එහෙත් රටේ ප්‍රධාන පුරවැසියාගේ සිට නීතිය ක්‍රියාත්මක කරනාවුන්ගේ පොර ටෝක් වලද අඩුවක් නැත.

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන සත්‍ය බව ඔප්පු කල අවස්තා ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කොතෙකුත් ඇතත්, දිනෙන් දින සිදුවන්නේ  එම ප්‍රකාශය  යාවත්කාලීන වීම පමණකි.  ලංකාවේ ජඩ දේශපාලනය හෙළා දකිමින් මෙම සටහන තැබුවද, මෙය ගගට ඉණි කැපීමක් වග මම හොදින් දනිමි.

එහෙත්, ඔලුවක් ඇති එකෙකු හෝ සිටී යැයි මම තබා ඇති විශ්වාසයද අත් නොහරිමි.  ලංකාවේ මෙවන් ඛේදවාචක යලි සිදු නොවීමට වගකිව යුතු පාර්ශ්ව කටයුතු කිරීම ඉතාම වැදගත් කාරණයක් වන අතර,  වර්තමානයේ සිටින සියලුම දේශපාලුවන් ලංකාවෙන් අතුගා නොදමන තුරු මෙම ගැටලුව දිගටම පවතිනු ඇත. තවද, මින් ඉදිරියට තෝරා පත්කර ගනු ලබන ජනතා නියෝජිතයින් පිළිබදව තම හෘද සාක්ෂියට එකගව, වාසිය ගැනම පමණක් නොසිතා  තීරණයක් ගන්නා හැටියට ලංකාවේ ජනතාවගෙන් ආයාචනය කර සිටිමි.

කාලාන්තරයක් මුලුල්ලේ  විවිධ දේශපාලන පක්ෂ හා මතිමතාන්තර මගින් තෙම්පරාදු වෙමින්  අත්තෙන් අත්තට පනිමින්  තම බඩගෝස්තරය වෙනුවෙන්ම කැපවූ අමන දේශපාලුවන්  තවත් කොතෙක් කල් ගියද  අවංක ජනතා සේවයට පය තබන්නෙ නැත. එහෙයින් මෙම කුජීත දේශපාලන සුනඛයින් වහාම ලංකාවෙන් අතුරුදන් කිරීමට කාලය පැමිණ ඇති බව සියලු දෙනාම අවධාරනය කරගතයුතු කරුණකි. එසේ නොවන්නේ නම්, මෙවන් ජඩ දේශපාලනයේ ඵල විපාක අනාගතයේදීද දක්නට ලැබීම නොවැළැක්විය හැකිය.

සටහන –  විකී

2011/10/10

Advertisements

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s