කියාපංකො වාසි අතට හෝයියා…..


ලිබියාවේ හිටපු නායක මොහම්මර් ගඩාෆි ඇමරිකාවේ නේටෝ සංවිධානය ප්‍රමුඛ කැරළිකරුවන් විසින් අත්අංගුවට ගෙන ඝාතනය කලාය.

අනේ ඉතින් මේ සීන් එක ආරංචිවුන වෙලාවේ ඉදන් ලංකාවේ කෝටි දෙකක් පමණ වන මහ ජනතාවට මේක අදහගන්න බැරි වුනා අප්පා. කොටින්ම කිව්වොත් මේක තාමත් හීනයක්.  ලංකාවේ ජනතාව හඩා වැලපෙනවා. බලන බලන කෙනාගෙ මූණෙන් දුක බේරෙනවා. මටත් ඇඩෙනවා අයියො.

මෙහෙම දුක් වෙලා විතරක් අපේ ලංකාවෙ කස්ටිය නිකන් ඉදී කියලා හිතුවද..? පිස්සුවක් ඇතෑ. එහෙම ඉන්නෙ නෑ. නේටෝ කාරයො මේ කරපු අසික්කිත, අශෝබන, නින්දිත, කූජිත ක්‍රියාව ගැන වහාම විධිමත් පරීක්ෂණයක් කරලා වාර්තාවක් දෙන්න කියලා අපේ ලංකාවෙ නායකයා දැන්වලා යැව්වා.

බලන්න පේ නායකයො කොයි තරම් මානව හිතවාදී, සාධාරණ, ස්වාධීන කට්ටියද කියලා. ඔන්න දැන් තමයි ඇමරිකාවට තරු විසිවෙලා තියෙන්නෙ ඕං. ලෝකෙ කොයි තරම් රටවල් මේ ඝාතනය සම්බන්ධයෙන් කට වහගෙන හිටියත් අපේ ලංකාව නම් ලේසියෙන් අරින්නෙ නෑ ඕං. අපේ ජනාධිපත් තුමා පෙන්නුවා උන්ට අපේ තරම.

මේ අහිංසක ගඩාෆි මහත්තයාව අමු අමුවේ මරලා දැම්මා. මානව හිමිකම්, යුද නීති තඹ සතේකට මායිම් කරලා නෑ මේ ඇමරිකන් කාරයො. අපේ අටමගුල් නම් හොයන්න එනවා. ඒත් ඒගොල්ලො කරන ඒවා හොදයි. කිසි දේකට බයවෙන්න දෙයක් නෑ. මේ ගේම් එකට අපේ ජනාධිපති තුමා බැහැලා ඉන්නෙ. මෙදා සැරේ නම් ඇමරිකාව පාඩමක් ඉගෙන ගනියි. ගඩාෆි මහත්තයාගෙ වටිනාකම ගැන ටිකක් කියලා ඉන්නම්කො ඉස්සර වෙලාම.

ගඩාෆි මහත්තයා ඒ කාලෙ අන්ත පරිහානියට පත් වෙලා තිබ්බ ලිබියාව නැගිට්ටලා ගත්තා. හොද පරිපාලනයක් ගෙන ගියා. සැබෑ මානව හිතවාදී, පුජාතන්ත්‍රවාදී පාලකයෙක්. ඔය එක එක දේවල් කොලා කියලා එක එකා කියනවා. ඒවා ගණන් ගන්ට කාරිනෑ ඕං. කොටින්ම කිව්වොත් ඒකාධිපති පාලකයෙක්. ඒ කියන්නෙ හරිම ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක්. ඉතින් මෙතුමා වගේ කෙනෙක් ලෝකෙට අහිමි වීම පොඩි කෙළියක් යැ. ඔන්න ඉිතින් අපේ ලංකාවේ නායකයට මල පැනලා ආයිත් පැන්න මේක අහපු ගමන්. අපේ නායකයා බැස්සා ගේමට.

දැක්කනේ ලංකාවේ කොටියට ගහපු ගැහිල්ල. උන්ට ඇපත් නෑ. ඒ සටනට නායකත්වය දීපු ජෙනරාලුත් හිරේ දැම්මා. මොකද ඒ..?? ජෙනරාල් කරපු අලුකුත්තේරු වැඩ නිසා. ඒවායින් කාලක් වත් මේ ගඩාෆි මහත්තයා කොරලා නෑ අප්පා.

එතකොට බලන්න භාරත – දුම්න්ද කේස් එක.. භාරත එයාම වෙඩි තියාගෙනනෙ අප්පා. මේ අහිංසක දුමින්දව මාට්ටු කලා අපේ දුෂටයො එකතු වෙලා. භාරතගෙ සෙට් එක වෙඩි තියලා දුමින්ද මහත්තයට අම්බානක අමාරුයි. ඒ මැර භාරතගෙන් වැඩක් නෑ. අපේ ලංකාවට වටින්නෙ දුමින්ද මහත්තයා. බලන්න කොච්චර විනිවිධ භාවෙකින් යුතුව ඒ පරීක්ෂණ කෙරෙනවද කියලා. ඒ පරීක්ෂණ වලට ගිය පොලෝසියෙ ලොකු මහත්තුරු මාරු කරේ වෙන දෙයක් නිසා නෙවෙයි. ඒ පරීක්ෂන හරියට කරන්නෙ නැති නිසා. ගඩාෆි මහත්තයා ගැනත් මේ වගේ පරීක්ෂණයක් අවශ්‍යයි කිව්වෙ එතනත් අක්‍රමිකතා සිදුවෙලා තියෙන නිසා.

එතකොට ලංකාවෙ හිටපු මාධ්‍ය වේදියො මැරුවා. ඒ ගැන පුලුල් පරීක්ෂන පවත්වලා වැදිකරුවන්ට කොච්චර දඩුවම් දුන්නද අප්පා…. ලසන්ත වික්‍රමතුංග මැරුවා. රිචඩ් සොයිසා මැරුවා. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්. ඒවට සම්බන්ධ හැමෝටම උපරිම දඩුවම් දෙන්න අපේ රාජපක්ෂවරු පසුබට වුනේ නෑ. ඕවා නිකං අරින්න අපේ ජනාධිපති තුමා ඉඩ දෙන්නෙ නෑ ඕං.

ඇමරිකාව GSP + නැවැත්තුවා. මොකද ඒ..? අපේ ලංකාවට ගේම දෙන්න. එව්වා කොහෙද. ඇමරිකාවෙ ඔබාමට දෙකට නැමෙනවද අපේ නායකයා. දුන්නා ටෝක්ස් එකසිය ගානට.  ආන්ඩුවෙ මාධ්‍ය වලින් දුන්න ගේමට ඇමරිකාව හොල්මන්. ඔය යස අගේට දුන්නෙ ආයිත්. කට්ටිය නම් කියනවා එක එක දේවල්. ඒ දුෂ්ටයො. දේශ ද්‍රේහියො. ඔවා ගණං ගන්න ඕනෙ නෑ.

ලංකාවේ වෙච්ච යුද අපරාද, මානව හිමිකම් කඩවීම්, පාතාල කේස් ඔක්කොටම අපේ නායකයා තිත තිබ්බා. ඒ විධිමත් පරීක්ෂණ කරලා. ඒ විතරක් නෙවෙයි, ඒවට සම්බන්ධ සැකකරුවන් ඇල්ලුවා. ඒ එක්කෙනෙක් දෙන්නෙක් අත්අඩංගුවේදිම මැරුනා තමයි. නමුත් ඒවා ඒතරම් ගණන් ගන්න දේවල් නෙවෙයි අප්පා.. අනික ඒ මැරුනෙත් ඒ සැකකරුවන්ම රාළහාමිලාගෙ තුවක්කු උදුරගෙන වෙඩි තියාගෙන.

මේ වගේ ලෝකෙ එක එක විදියෙ ඝාතන වුනා. මිනිස්සු සමූල ඝාතනය කලා. වැදගත් නායකයො අමු අමුවෙ මැරුවා. මානව හිමිකම් අම්බානට කඩ කලා. ඒවා කොහොම වුනත් මේ ගඩාෆි මහත්තයා  මැරුව එකෙන් තමයි ලෝකෙ රටවල් මෙදා සැරේ ලංකාවේ නායකයගෙන් හොද පාඩමක් ඉගෙන ගන්නෙ. අපේ මේ දුෂ්ට මිනිස්සු නම් කියනවා ගඩාෆි එක්ක තිබ්බ හොර ගේම් නැති වෙච්ච දුකට මෙහෙම කරන්නෙ කියලා. අනිත් එක අපේ ලොක්කා මේ පොර වෙන්න හදන්නෙ කියලා. හුහ්..උන් දන්න ඉටිගෙඩිය. ඕකුන් දේශ ද්‍රෝහියො. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කාරයො. සුද්දට කඩේ යන එවුන්.

කොහොම වුනත් දැන් ඉතින් ඇමරිකාව සෙල්ලම් දාලා හමාරයි. ඔය එක එක රටවල් වලට දාන සිංහ පාට් ලංකාවට දැම්මොත් ඉතින් සොරිම තමා. ලෝකෙම පරද්දවන්න බෑ කියපු යුද්දෙ අපේ රාජපක්ෂවරු දිනුවා නම්.. අනිත් ඒවා මොන කජ්ජක්ද.

දැන් ඉතින් ගඩාෆි මහත්තයා මැරුව එක ගැන දීපල්ලකො උත්තර.

-සටහන – විකී.

2011/10/24

Advertisements

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s