අතීසාරෙට අමුඩෙ ගැසීම….


මේ කියමන ඉතින් කවුරුත්  අහලා ඇතිනේ. හැබැයි මේ කියන්න හදන්නේ ඒ සීන් එකම නෙවෙයි. හැබැයි ඒ කියමන ටක්කෙටම ගැලපෙන සීන් එකක් ගැන.

ලංකාවේ ජනමාධ්‍ය අමාත්‍යාශයෙන් නිවේදනයක් නිකුත් කොරලනේ. ඒකෙන් කියන්නේ ලංකාව ගැන සහ ලංකාවේ ඇත්තො ගැන ප්‍රවෘත්ති පල කෙරෙන  සියලු වෙබ් අඩවි ජනමාධ්‍ය අමාතාශයේ ලියාපදිංචි කරන්න කියලා.

වැඩේ නරකමත් නෑ. ඒකෙන් මේ වෙබ් කලාවේ කක්කා ගාන, වැඩකට නැති විකාර කරන පිස්සු පිහාට්ටො ටිකට පොඩි අවුලක් වෙනවා. හැබැයි ඒ බොහොම ටිකයි. මොකද ප්‍රවෘත්ති පල කරන වෙබ් අඩවි තියෙන්නේ ඉතාම ටිකයි. ඒවත් ඉතින් ඔය කියන තරම් නරකක් මට පේන්නෙ නෑ. හැබැයි ඉතින් ඒවට වඩා මේ රජයේ මාධ්‍ය කලාව තරම් කක්කා මාධ්‍ය කලාවක් මම දැකලත් නෑ කියලත් කියන්න ඕනෙ ඕං…

ජනමාධ්‍ය අමාත්‍යාංශෙන් කියන්නේ ලංකාව ගැන අපකීර්තිය ඇති කරවන ප්‍රවෘත්ති පල වෙනවලු. ඔව් ඉතින්,.. රජයේ මාධ්‍ය බලනකොට නම් ඉතින් ලංකාව තරම් රටක් ලොවෙත් නෑ තමයි. ඒත් ඉතින් අනිත් මාධ්‍ය බලනකොට මේ ලංකාවද කියලා හිතෙනවා තමයි. ඒකට ඉතින් වග කියන්න ඕනෙ කව්ද කියලත් මම ටිකක් කල්පනා කොලා. නැත්තං හරි නෑ නෙව.

අපේ අල්ලපු වත්තෙ ඉන්නවා හෙන ගොං තඩි සෙට් එකක් . ඒ කිව්වෙ හරක් පට්ටියක්. උංගේ වැඩේම ගමේ වතුවලට පැනලා ඒ වතුවල තියෙන පැල ජාති ටික කාලා දාන එක. ඒ මිනිස්සුත් ඉවසලා ඉවසලා බැරිම තැන හරකගේ අයිති කාරයින්ට මේ අවනඩුව කිව්වා. හරකව ගැට ගහලා තියාගන්න කියලත් කිව්වා. ම්හු…හරියන්නෙ නෑ. ඒවා කණකට ගන්න ඒ මිනිහත් කැමති නෑ. කියන්න එන කෙනාට බැනලා එලවා ගන්නවා.

අන්තිමේදි පාඩු ලබන පාර්ශ්වය මේ අවනඩුව ගැන ගමේ  හැමෝටම කිව්වා. දෙස් දෙවොල් තිබ්බා. කරන්න දෙයක් නැති තැන හරකත් එක්කම මිනිහත් මකබෑවිය කියලා පොලුත් ගැහුවලු. ඒත් වැඩක් වුනේ නෑ. ඊට පස්සෙ ගියා අපේ ලගම හිත මිතුරා කියලා කියන පොලෝසියට. පොලෝසියෙන් දුන්න කැකිල්ලෙ තීන්දුව. තම තමන්ගේ වතුවල තියෙන වැටවල් හරියට හදාගනින්ලා කියලා මිනිස්සුන්ට කිව්වා. ඒ විතරක් නෙවෙයි. හරක් කන්නෙ නැති පැල ජාති හිටවන්න කියලත් උපදෙස් දුන්නා.

මටත් හිතුනෙ මේ වෙබ් සීන් එකත් ඒ වගේ එකක්ද දන්නෙ නෑ කියලා. ජනමාධ්‍ය අමාත්‍යාංශෙන් කියන්නෙ රට අපකීර්තියට පත්වෙන විදියට ප්‍රවෘත්ති පල කරනවලු. ඒ නිසා මේ වෙබ් අඩවි ලියාපදිංචි කරන්නලු. වැඩේ නරක නෑ. ඊට පස්සෙ රට අපකීර්තියට පත් වෙන්නෙ නෑ ඕං. මොකද,..රටේ පාලකයො ටික මොන තරම් ජෝගි නැටුවත් ඒවා එළියට දාන්න බෑ. කවුරුවත් දන්නෙත් නෑ. කොහොමද අපේ ලොකු ඇත්තන්ගෙ ටිකිරි මොළේ….??

අනිත් එක තමයි පුද්ගලයින්ට අපහාස කරලා චරිත ඝාතනය කරනවලු.  මම ඒක ගැනත් ටිකක් හොයලා බැලුවා. වැඩේ කියන්නෙ…ඔය කියන විදියට පුද්ගලයින්ට මඩ ගහලා අපහාස කරලා නෑනෙ. ඒ කිව්වෙ අපේ ගමේ හරමානිස් අයියට මඩ ගහලා වෙබ් එකේ දාලා නෑනෙ. සිරියාවතීට මඩ ගහලා දාලාත් නෑ. අමේ කෙහෙල් කැන කපලා විකුණලා දරුවන්ට කෑම වේල හොයලා දීපු ඩිංගිරි බණ්ඩා ගැන මේ වෙබ් වලින් අපහාස කරලා නෑනෙ.

එහෙනම් කාටද මේ අපහාස කොලැයි කියන්නෙ….? ආ…හරි හරි…මට තේරුනා. මේ දුෂ්ට වෙබ් කාරයො අපහාස කොරලා මඩ ගහලා තියෙන්නෙ මේ රටේ ලොකු උත්තමයන්ට. හප්පේ…ඇත්ත නේන්නම්, මේ වෙබ් සයිට් කාරයො හම ගහන්ට එපැයි අම්මපා. මේ අපේ මහ ජනතාව වෙනුවෙන් අවංකව ජීවිතය පරදුවට තියලා සේවය කොරන උත්තමයන්ටනේ මේ මුන් මඩ ගහලා තියෙන්නෙ.. ඇත්ත තමයි. මේ උත්තමයො ඔය කුඩු වියාපාර , අවි ආයුද ජාවාරම්, පාතාල ගේම් වගේ බොහොම පුංචි රස්සාවල් කරලා එදාවේල හරිහම්බ කරගන්නෙ. ඒ සල්ලි වලින් තමයි බඩට නොකා  ජනතාවට සේවය කොරන්නෙ. එහෙව් උත්තමයින්ට මඩ ගහන එක හරි නෑ තමයි. කැතයි..හිරිකිතයි,..කූජිතයි ඕං…

අපේ ගමේ ඉන්න ඩිංගිරි බන්ඩාට තමයි අපහාස කොරලා මඩ ගහලා පාරට ඇදගෙන ඇවිල්ලා මහ ජනතාව ඉදිරියේ හම ගහන්න ඕනෙ. ඇයි… අර ගමේ එකාගෙ කෙහෙල් කැන කපලා විකුනලා උගේ දරුවන්ට බඩගින්නට කන්න හොයලා දුන්නට. ඒක කොච්චර දේශද්‍රෝහී අමන කිරියාවක්ද අම්මපා. මේවගේ අපරාධ සීන් දාන්නෙ නැතුව අර උත්තමයින්ගෙ දේවල් හොයලා මඩ ගහන එවුන්ගෙ වෙබ් අඩවි මකබෑවිලාම යන්න ඕනෙ තමයි.

අනිත් එක අපේ රටේ මඩ ගහලා අපහාස කොරන්න තරම් දේසපාලු උත්තමයො නෑ. අනිත් එක රටේ එහෙමටම කියලා පුරස්නෙකුත් නෑනෙ. ඔය වංචා දූෂණ, මිනී මැරුම්, රටේ සම්පත් විනාශ කිරීම් , නාස්තිය දූෂණය වගේ පොඩි පොඩි සීන් ටිකක් විතරයි තියෙන්නෙ. ඒවා ඒ තරම් ගණන් ගන්න දෙයක් නෑ. ඒ වගේ පොඩි පොඩි දේවල් මහ ලොකුවට ලෝකෙටම කෑ ගහලා කියන්න ඕනෙ නෑනෙ. ඒකෙන් අපේ රට අපකීර්තියට පත් වෙන එක අහන්නත් දෙයක්ද.

අන්න ඒක නිසා තමයි මේ පියවර අරගෙන තියෙන්නෙ. ඒ කියන්නෙ මින් පස්සෙ රටේ මොන තරම් නාස්තිය දූෂණය වගේ පොඩි පොඩි සීන් තිබුනත්, රට කරවන උත්තමයින්ගේ මොන බලු වැඩේ…අහ් සොරි සොරි….. බලු වැඩේ නෙවෙයි,.. අහිංසක සූටි සූටි වැඩ අප්පා.. ඒවා ගැන මින් පස්සෙ ලියනවා බොරු. ලියලා අහු වුනොත් සයිට් එකට දෙයියන්ගෙ පිහිටයි. එහෙම ලියලා දාලා අහුවෙච්ච වෙබ් අඩවි කීපයක්ම බ්ලොක් කරලා කියලත් ආරංචියි. හොද වැඩේ… ඕනෙ නැති දේවල් අවුස්සලා ලියලා දානවට.

කොහෙම වුනත් ඉතින් අපේ රටේ වැඩ සිටින පාලක උත්තමයොත් කාලෙන් කාලෙට එක එක විජ්ජුම්බර ගෙනල්ලා රටේ මිනිස්සුන්ව ඔල්මොරොන්දම් කරනවා. රටේ තියෙන ප්‍රශ්න එලියට යන්න නොදී හැම හිලක්ම වහන එක හොදයි. නැත්නම් ඒ උත්තමයින්ගෙ පටි රෝල් වෙනවනේ. ඒක හරි නෑනෙ. වෙන රටවල් වලට දීපු පොර ටෝක් ඔක්කොම අප්සෙට් වෙනවනේ මේ වෙබ් කාරයො කොරන අමන වැඩ නිසා.

මේක අහපු අපේ සීයා මරු කතාවක් කිව්වා. මට තදවුනා ඒ කතාවට. මම ටිකක් දොස් කිව්වා සීයට. සීයා කියනවා රටේ ප්‍රශ්න තියෙන නිසානේ ඒවා ලියන්නෙ කියලා. අනික මේ වෙබ් කාරයෝ ප්‍රශ්න හදලා ලියන්නෙ නෑනෙ කියනවා. එක එක අයට අපහාස කරලා ලිව්වානම් ඒ අපහාස කලේ මඩ ගැහුවෙ ඇයි කියලා ටිකක් හොයන්න මේ රට කරවන ඇත්තන්ට බැරි ඇයි අහනවා. අනික ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නෑලු. රටේ තියෙන ප්‍රශ්න විසදන්නෙ නැතුව අයියලා මල්ලිලයි, උන්ගෙ පරම්පරාවයි එක්ක රට කාබාසිනියා කරනවලු.  ඒවා ජඩ වැඩ වහගන්න  ඒවා එලිදරව් කරන අයට දෝස්මුරේ දානවලු….. බලන්නකො අප්පා. සීයා කියන අමන කතාවල තරම. ඒ මදිවට සීයා කියනවා…………

මේවට කියන්නෙ අතීසාරෙට අමුඩෙ ගහනවා කියලලු.

හුහ්…සීයා දන්න කෙහෙල්මල. බලන්නකො….සීයා නම් මහ දේශ ද්‍රෝහියෙක්ම තමයි.

සටහන – විකී

2011/11/05

Advertisements

2 thoughts on “අතීසාරෙට අමුඩෙ ගැසීම….

  1. මාධ්‍ය භාවිතය ගණිකා වෘතියේ යෙදවීමේ ප්‍රති විපාක නේද මේ..
    ලංකා ඊ නිව්ස් මෑත කාලයේ ලියු රටාව ඉල්ලන් කෑමක් කියලයි මම හිතන්නේ.
    ඉතාමත් නිර්දය ලෙස සහ අභීත ලෙස තොරතුරු ඉදිරිපත් කරන ගමන් සක්කිලි භාෂාවක් නේද භාවිතා කළේ.
    උපහාස වෙනුවට අපහාසය නේද ජනිත කළේ.. වයිරය නේද පිළිඹිබු වුණේ..
    මේ බල අධිකාරිය තුළ ඔහොම වෙන බව තේරුම් නොගත්තානම් ඒක දුර්වලතාවයක්.
    තේරුම් කර ගෙන කළා නම් ඉල්ලන් කෑමක්.
    මේ වැඩෙන් අනෙක් හැමෝමත් අමාරුවේ.
    ඇරත් ජනතාව අතරට හෙළිදරව් නොවෙන තොරතුරු ගෙනයාමේදී උපක්‍රමශීලීව වචන භාවිත කරමින්
    ලිපි ලිවීමට සඳරුවන්ට ඔලුවක් නොතිබීම අභාග්‍යයක්.
    මම දිනපතා ඊ නිව්ස් බලපු කෙනෙක්..
    අපරාදේ..

  2. ලංකාපුර…. මම ඔබේ කතාවට එකගයි මිත්‍රයා. මම මේ බ්ලොග් එකෙන් කිසිවෙකුට අපහාස කරන්න බලාපොරොත්තුවක් නෑ. වැරැද්ද පෙන්නලා දෙනවා විතරයි. ඔබලා නිරන්තරයෙන් මාත් එක්ක ඉන්න. ඒක මට ලොකු ශක්තියක් වේවි. මේකේ ලියපු රටාවේ වරදක් ඇත්නම් කියන්න මිත්‍රයා..අපි වැරදි හදාගමු.

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s