රිසානාගේ පාඩම සහ පශ්චාත් විපරම..


       තවත් එක සිදුවීමක් නිමාවට පත්විය. හැමදාමත් වගේ සියල්ල සිදුවූ විට ඒ ගැන දුක්වී පසුතැවී සිටිනවාට වඩා යමක් කල බවක් මතකයේ ඇත්දැයි මම ටිකක් විපරම් කලෙමි. මොළේ කණපිට හරවලා බැලුවත් එහෙම දෙයක් පම්පනාවට එන්නේම නැත.

මේ අවාසනාවන්ත ලෙස මිය ගියේ, නැත්නම් ඝාතනය කලේ තවත් එක් රිසානා කෙනෙකු පමණි. අතීතයේ සිදුවූ සිදුවීම් දෙස බලන කල එය එසේ කීමට සිදුවේ. තව තවත් රිසානලා ඉදිරියේදී මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ පෑමට ඇති ඉඩකට තවමත් වැඩියැයි  හැ‍‍ගේ.

රිසානාට මෙහෙම වුනේ ඇයි.? කවුරුත් අසන පැනය මෙයයි. ඉතා දිළිඳු පවුලක උපත ලැබූ රිසානා අවාසනාවන්තියක නොවේ. ඇයද අනෙක් කාන්තාවන් මෙන් අංග සම්පූර්ණව උපත ලද තැනැත්තියකි. ඇයට තිබුනේ එකම අඩුපාඩුවක් පමණකි. ඒ මුදල් පමණි.

මිනිසත් බව ලැබීම ඉතාමත් දුෂ්කර යැයි අප මහ අමා මෑණී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාලේ, කල්ප කාලයක් පෙරුම් පිරුවත් මේ මාහැඟි අවස්තාව ලැබීම අති දුර්ලභ නිසාය. ඒ අති දුර්ලභ අවස්ථාව උදා කර ගැනීමට රිසානා සමත් විය. ඉතින් ඇය අවාසනාවන්ත තැනැත්තියක නොවේ. ඒසා දුෂ්කර අවස්තාවක් ජය ගෙන මෙලොවට පැමිනි රිසානා අවාසනාවන්ත කලේ කවුරුන්ද..? ඒ අප ජීවත් වන සමාජ ක්‍රමය විසින් යැයි කිව්වොත් එය නිවැරදිය.

අති දුර්ලභ වූ මිනිසත් භවය ලැබ මෙලොවට ආ පමණින් සියල්ල සම්පූර්ණ නොවනු ඇත. ඒ ලැබූ ජීවිතය ජීවත් කරවිය යුතුය. ඒ සඳහා අවැසි ප්‍රධාන සාධකයකි. ඒ නම්, මුදල්ය. මුදල් නැති මිනිසත් භවයකින් පලක් නැත. හයක් හතරක් නොදත් රිසානා කෙසේ වෙතත් රිසානාගේ දෙමව්පියන් එසේ සිතන්නට ඇත. මේ සිතිවිල්ලෙහි අවසාන ප්‍රතිපලය රිසානා සෞදි අරාබියාවේ මෙහෙකාර සේවයට යැවීමට තීරණය කරන්නට තරම් දුර දිග ගියේය.

එහෙත් ගැටලුවකි,. රිසානා තවමත් කුඩා දැරියකි. එහෙත් නිසි කල එළඹෙන තුරු සිටියහොත් සියල්ල සිදුවී හමාරය. එහෙයින් වහා පියවර ගත යුතුය. ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ ඇති හිලෙන් රිංගමින් මිනිස් වෙළඳාම ජයටම කරමින් සිටි රට රැකියා ඒජන්සිවරයෙකු රිසානාලගේ පිහිටට එන්නේ දෙවියන් එවූ පරිද්දෙනි. ඒ බල පරාක්‍රමයේ මහිමයෙන් 17 වැනි වියේ පසුවූ රිසානා වයස 23 ක තරුණියක් බවට පත් වෙන්නේ, තම දුප්පත් කම දුරු කිරීමට මංපෙත් හෙලිකල මාර්ගයේ වාසනාවන්ත දොරටු විවර කරමිනි.

තම ආදරණිය මව්පියන් දෙපල සහ තම සහෝදර සහෝදරියන්ගේ කුසගිනි නිවීමේ ඒකායන අරමුණ පෙරදැරිව රිසානා විදෙස්ගත වූවා යැයි කීවද, මෙලෝ හසරක් නොදන්නා 17 වැනි වියේ පසුවූ රිසානා එතෙර රැකියාවට යන්නේ කුමන මානසිකත්වයෙන් දැයි දැන සිටියේ  රිසානාම පමණකි. හයක් හතරක් නොදත් වයසක දැරිවියක් කාත් කවුරුත් නැති විදේශයක තනි වන්නේ එන ඕනෑම අභියෝගයකට වූවද මුහුණ දීමට සූදානමින් සිට බවද අවශ්‍ය නම් උපකල්පනය කල හැකිය.

ඒ කෙසේ වෙතත්, මැද පෙරදිගට විදෙස් ගත වන කාන්තාවකට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් යම් ප්‍රමාණයක පුහුණවක් ලබා දෙති. එම අදාල රටෙහි පවතින නීති රීති හා සමාජ පසුබිම ගැන යම් පමණක අවබෝධයක් ලබා දෙති. එහෙත් රිසානාට එම අවබෝධය කොතෙක් දුරට ලබා දුන්නා දැයි සහ, රිසානා කෙතරම් අවබෝධයකින් සිටියා දැයි මෙම සිදුවීම දෙස බලන විට මතුවන ගැටලුවකි. මෙහෙකාර සේවයට යන කාන්තාවට ඕනෑම නිවසක කටයුතු කරන ආකාරය පිළිබඳව සහ විහේෂයෙන් කුඩා දරුවන් රැක බලා ගැනීම පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් සහ පළපුරුද්දක් අවශ්‍ය වේ. එහෙත් රිසානාට මේ කිසිවක් නොවූ බව පෙනී යන කරුණකි.

වයස පිළිබඳ තිබූ ගැටලුව මත ක්‍රමවත් පුහුණුවක් හා පිළිගත් ක්‍රමවේදයන් අනුව කටුයුතු නොකර, ඉතා කඩිනමින් ව්‍යාජ පිලි ලේඛන සකස් කර ඇය රට යැවීම ඊටත් වඩා වැදගත් කාර්යයක් වන්නට ඇත. ඒ හේතුවෙන්ම රිසානාට කුඩා දරුවකු රැක බලා ගැනීමේ කර්තව්‍යය නිසියාකාරව ඉටු කිරීමට නොහැකි වන්නටම පුලුවන. එහෙත්, රිසානා සමග සිටි එම නිවසේ දරුවා මිය ගියේ රිසානාගේ කිසිදු නොසැළකිල්ලකින් නොවන්නටද පුලුවන. එම සිදුවීමත් හරියටම දන්නේ රිසානාම පමණක් වීම හේතුවෙන් මම එසේ කියමි.

කෙසේ හෝ රිසානා සේවය කල නිවසේ සිටි කුඩා දරුවකු රිසානාගේ අතේ සිට මිය ගියාය. වරද කාරිය රිසානාය. අප එසේ සිතුවද, ඊට නිසි පරීක්ෂණයක් කල යුතුව තිබුනි. එය එසේ සිදුකර නොමැත. අවසන කෙසේ හෝ එම වරද රිසානාගේ හිස මත බරවී ඇයට තම ආදරණීයයන් පමණක් නොව, ලැබීමට අති දුෂ්කර මිනිසත් භවයෙන්ද නික්ම යන්නට සිදු විය. වග කිව යුතු පාර්ශ්වයන් දැන් එක එක කතා කියති. යුක්තිය සාධාරණය සොයති. බිටු පිරෙන්නට ලිපි වාර්තා ලියති. ලොවම කම්පා වෙති. එහෙත් වසර 7 ක් පමණ තිස්සේ සිරබත් කෑ රිසානා වෙනුවෙන් යමක් කරනවා නම් ඕනෑ තරම් කල් තිබුනි. දැන් කයිවාරු ගසති. රිසානාගේ පවුලට උදව් කරන්නට යති. නමුත් මේ කිසිවකින් රිසානා ඉතා අපහසුවෙන් ලබා ගෙන අහිමි වූ මිනිසත් භවය නැවත ලැබෙන්නේ නැත.

අපට මේ සිදුවීමෙන් උගත හැකි පාඩම් බොහෝය. රටක පාලකයින් හැම ජන කොටසක්ම කෙරෙහි සහ හැම මනුෂ්‍යයෙක්ම කෙරෙහි විධිමත් අවධානයක් හා කැපවීමක් තිබුනේ නම්, රිසානාට මෙවන් අවාසනාවන්ත ඉරණමක් අත් විඳීමට සිදු නොවනු ඇත. විදෙස් විනිමය පමණක් ලැබීමට කෑදර දේශපාලුවන් පිරිසක් සිටින රටක, විදෙස් සේවාවට යන කාන්තාවන් ගැන තැකීමක් නැත. විධිමත් ආරක්ෂාවක් නැත. රට සල්ලි ලංකාවට ගලා ආවොත් ඇතිය. යන එකාට හෙන ගැහුවත් කමක් නැත. ලැම්බෝගිනි වලින් මේ අහිංසකයින්ගේ දුක් ගින්න නිවිය නොහැකිය. නමුත් එහි වගේ වගත් මේ අමන දේශපාලුවන්ට නැත.  ඒ මේ රටේ දේශපාන ව්‍යුහය සැකසී ඇති රටාවය.

රාජතාන්ත්‍රික මට්ටමින් රිසානා වෙනුවෙන් විධිමත්ව යමක් කර නැති බව රිසානාගේ මරණයෙන් පෙනී යයි. රිසානාගේ මරණයෙන් පැය දෙකක් පමණ ඉක්මව ගොස් ඇතත් විදේශ සේවා කටයුතු ඇමති ඩිලාන් පෙරේරා පාර්ලිමෙන්තුවේදී කිසා ඇත්තේ රිසානා බේරා ගැනීමට රජය සියලු කටයුතු සිදුකර ඇති බවකි. විදෙස් ශ්‍රමිකයන් ගැන ඍජු වගකීමක් ඇති විෂය භාර ඇමති වරයාගේ  මෙම ක්‍රියාවෙන් දෙරට අතර රාජතාන්ත්‍රික බැඳීමේ තරම  හා ඩිලාන් පෙරේරා ඇමතිවරයාගේ සැළකිල්ල මොනවට පැහැදිලි වෙයි. ඊටත් වඩා විහිලුව වන්නේ රිසානාගේ මරණයෙන් පසු සෞදි අරාබියේ සිටි ශ්‍රී ලංකා තානාපතිවරයා නැවත කැඳවා ගැනීමයි. ලංකාවේ මහ ජනයා සිතා සිටින්නේ සෞදි රජුට පාඩමක් ඉගැන්වීමට අපේ රජු මෙසේ කල බවයි. එසේම ඇඟවෙන පරිදි ද එය කලේය. නමුත් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මෙරටට පැමිනි සෞදියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සෞදි රජුට පිටවූ අධෝ වායුවක් තරම් වත් දැනීමක් නැත.

මෙවැනි ගොං පාට් තුලින් ලංකාවේ අති මහත් බහුතරයට බටර් ගෑ හැකි බව අත්දැකීම් තුලින්ම දන්නා ලංකා‍වේ පාලකයෝ තවමත් එසේ කරන්නෙ මහ ජනතාව අදටත් සැබවින්ම ගොන්නු යැයි සිතාද, එසේ නැතිනම් සැබෑවටම අපි හරක් නිසාදැයි සිතා බැලීම වටී. මෙම සිදුවීමෙන් පසු අරාබිය වර්ජනය කිරීම හෝ එරට සිටින අපේ කාන්තාවන් ආපසු ගෙන්වා ගැනීම හෝ කල යුතු යැයි මා අදහස් නොකරමි. එසේ කිරීම අතීසාරෙට අමුඩය ගැසීමක්ද වෙති.

කල යුත්තේ එය නොවේ. රිසා‍නා අපට කියා දුන් පාඩම මින් ඉදිරියට අප කිසිදා අමතක නොකරමු. විදෙස් රැකියාවල නිරත වන කාන්තාවන් කෙරෙහි වැඩි සැළික්ල්ලක් දැක්විය යුතුය. ඔවුන්ට මනා ලෙස එරටේ නීතිය හා අණපනත් පිළිබඳව පුලුල් අවබෝධයක් ලබා දිය යුතුය. ගෘහ සේවිකාවක ලෙස විදෙස් ගත වන කාන්තාවන්ගේ සුදුසු වයස් සීමාවක් ඇති කල යුතුය. එය නීති රෙගුලාසි හා පොතේ ලීයූ නීතියක් නොවී ප්‍රායෝගිකව දැඩි සැළකිල්ලකින් ක්‍රියාත්මක යුතුය. එමෙන්ම හොර ඒජන්සිකරුවන් පන්නා දමා රට රැකියා ඒජන්සි කරුවන්ද  නියමිත සුදුසකම් සපුරා ඇති අයවලුන්ම පමණක් පත් කිරීමට අදාල බලධාරීන් පියවර ගත යුතුය.

රිසානාගේ මරණය අපට කියා පෑ එක් ප්‍රබල කතාවක් ඇත. එනම්, සැමට යහපත් ජීවන තත්වයක් ගොඩ නැංවීමෙහිලා රටක් වශයෙන්, රටක සිටින පාලකයන් දැඩි සැළකිල්ලකින් හා වගකීමකින් කටයුතු කල යුතු බවයි. රිසානාගේ පවුලේ උදවිය හොඳින් හඳුනන බොහෝ කාලයක් ඇසුරු කල අය බව මුස්ලිම් කොංග්‍රස් නායක රවූෆ් හකීම් කියයි. එහෙත් විශේෂයෙන් තමන්ගේ බස කතා කරන මිනිසා ගැන දැක්වූ සැළකිල්ල මනාව පෙනී යන්නේ රිසානා පදිංචිව සිටි නිවස හා පරිසරය දෙස බැලීමෙනි. දැන ඇඳුනුම් කම තියන් රිසානා මරා දමන තුරුම පොල් ගෑවාදැයි හකීම් ගෙන්  අසන එක ආසාධාරණ නොවේ යැයි සිතමි.

අවසන් වශයෙන්, රිසානාට අත්වූ ඛේදජනක ඉරණම ලංකාවේ තවත් කාන්තාවකට අත් විඳීමට ඉඩ නොතැබිය යුතුය. මේ වෙනුවෙන් විධිමත් වැඩ පිළිවෙළක් මෙතැන් පටත් වත් ක්‍රියාත්මක කල යුතු අතර, රාජතාන්ත්‍රික මට්ටමින් මීට වඩා සමීප සබඳකම් ගොඩා නගා ගත යුතුය. තවද, පුද්ගලික වාසි සහ පටු අරමුණු වෙනුවෙන් ක්‍රියා කරන හොර නිළධාරීන් වහාම අදාල අංශ වෙතින් පන්නා දැමිය යුතුය. ඊටත් වඩා, රාජතාන්ත්‍රික මට්ටමින් තීන්දු තීරණ ගැනීම සඳහා අපේ රටේ පාලකයින්ටද කොන්දක් තිබීම අත්‍යවශ්‍ය කරුණකි.

සටහන – විකී

2013-01-16

Advertisements

බඩු බනිස් වීම හෙවත්, දිට්ඨ ධම්ම වේදනීය කර්මය


ගොරකා දඩ මස් කිරීමට උපන් පහන්කම් ඇති  පිරිස් දෙකකි.  එක් කට්ටියක් පොලීසියයි. අනෙක් කට්ටිය නීතීඥවරු ය. පොලීසියෙන් කරන්නේ, කැළයට දමා සොයන්නට දුන් සුදු හාවා වෙනුවට තඩි වලහෙක්ට අම්බානට නෙලා වලහා විසින්ම තමා සුදු හාවා යැයි කියන තත්වයට වලහා පත් කිරීමයි. ඒකෙ අනිත් පැත්තත් කිරීම ඔවුන්ට කිරි කජ්ජකි.

අනිත් පිරිස නම් නීතීඥවරු මීටම හපන් ඈයෝම වෙති. ඇස් පනාපිට වෙච්ච දේ නැහැයි කියන තැනට පාර කපා ගතමනාව සාක්කුවේ දාගන්න පුදුම තරම් දක්ශයෝ වෙති. ඒ කෙම අනිත් පැත්තද එසේමය. යුක්තිය හා සාධාරණය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මහත්තුරු උසාවියේ සිටින දෑස් වසා ඇති නීතිය ඉදිරියේ රිසි රිසි සේ දස්කම් දක්වති. එහෙයින් සැබවින්ම නීතිය අන්ධය. පාතාලයින් එළියට දාන්නත්, අහිංසකයෙකුගේ බෙල්ලට තොන්ඩුව දාන්නත් මොවුන් දිවි පරදුවට තබා හෝ කටයුතු කරති.

ටිකක් දිගට ඇදෙන ඉඩම් නඩු, දික්කසාද නඩු ආදිය පැනලා බාර ගන්නේ තම සේවා දායකයාට ඇති පුදුම ආදරෙනි. ඒ, අවුරුදු ගානක් පෙන්ෂන් එක ගන්නවා වගේ අහිංසක මිනිහගෙන් ගාන කපන්න පුලුවන් බව දන්නා නිසාය. ඊටත් වඩා මොවුන්ට ඇත්තේ පුදුම ‘ගෙම්බර්’ එකකි. අහිංසකයන්ගේ දාඩිය මහන්සිය උලා කමින් මේ ගෙම්බර් දාන්නේ ඒ මිනිසුන්ටමය.

අසාධාරණයට විරුද්ධ සිසු අරගල, වෘත්තීය සමිති අරගල, සාමකාමී උපවාස උද්ගෝෂණ ආදිය මර්දනයට පොලීසියට නියෝග ලබා දෙන්නේද මොවුන්ගේ ආයතනයමය. වාසි අතට හෝයියා කියන මේ ඇත්තෝ ඕනම මලදානයක් නඩුවක් හැටියට බාර ගෙන ගාන කපති. සමහර ලෝයර් මහත්තුරු උසාඩියේදී නැගිට කට උල් කරනවා පමණි. නඩුව කල් යයි. සමහරු සල්ලි ගත්තද උසාවි නඩු දිනයේදී ඇහැට වත් පෙනෙන්නට නැත.  නමුත් ලෝයර් මහත්තයගේ ගත මනාව සාක්කුවේය. අර දුප්පත් මිනිහා එදා වේලවත් නොකා ඉතිරි කර ගත් කීයක් හරි මුදල කිසිදු අනුකම්පාවකින් තොරවම ගිල දමති. ඊ ළඟ නඩු වාරයේදීත් එසේමය.. නඩුව අවසන් වෙත්දී අර මනුස්සයාගේ සබ්බ සකල මනාවම අහවරය.

නීතිය කාටත් පොදු යැයි නන් දොඩවන්නේද මුන්නාන්සේලාමය. නමුත් ඒක දන්නේ එතුමන්ලාමය. කවුරුන් හෝ වරද කරුවකු කිරීම හෝ නොකිරීම මුන්නැහැලාට සුලු දෙයකි. කොතරම් සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් කරන උද්ගෝෂණයක් වුවද මර්දනය කිරීම වෙනුවෙන් නියෝග ලබා දෙති. එතැනදී සාධාරණය අසාධාරණය පයිසෙකටවත් මායිම් නොකරති.

දැන් බඩු බනිස් වෙලාය…… දැන් ලෝයර් මහත්තුරු පාරට බැහැලාය. කලින් දුන් නියෝග සිහිපත් වනවා  ඇත. අහිංසකයන් වරදකරුවන් කල අයුරු සිහිවනවා ඇත. ලෝයර් මහත්තුරු වෙලත් දැන් යුක්තිය සාධාරණය හිඟා කන තත්වයට පත්ව ඇත. මොවුන්ට තවත් ගොට්ට අල්ලන්නට පිරිසක්වත් සිටිති..ඉතින් අහිංසක දුප්පත් මිනිසුන්ට කුමන කතාද.. දැන් සාධාරණය වෙනුවෙන් පෙල ගැසෙන්න කියා බෙරිහන් දෙති. උද්ගෝෂණ කරති. පිකටින් කරති. දැන් කෝ පොලිස් බලඇණි..? කෝ කඳුලු ගෑස්..? හැමෝටම එක නීතිය කෝ දැන්..?

කොටුවේ ස්ටේෂන් එක ඉදිරිපිට දෝෂාභියෝගයට එරෙහි අත්සන් ලබා ගන්නා ශ්‍රීනාත් මහත්තයාට දුක බේරිලාය. අනිත් වෘත්තිකයන් තමන්ට සහය පල කරන්නේ නැති එක ගැන එයාට පට්ට දුකය. අනිත් වෘත්තිකයන්නේ උද්ගෝෂණ වලට වාරණ නියෝග අරන් දෙන කොට නම් මෙයාට පට්ට හැපි ය. දැන් මේ මහත්තුරු ටික කුක්කෝ වාගේය. කිසිම හව්හරණක් නැති ගානය. කිසිවෙකුත් ගණන් ගන්නේද නැත. බුදුන් වහන්සේ වදාල ලෝක ධර්මතාවය දැන් මුන්නැහැලාටත් උදා වෙලාය.මෙච්චර කල් එහෙම එකක් අහලාවත් නැති ඒ උත්තමයෝ දැන් අසරණ වෙලාය.

කලු කෝට් කාරයන් දැක්කත් බයවෙච්ච උදවිය දැන් ලංකාවේ නැත. මින් පසු නැට්ට කකුල් දෙක අස්සේ ගසාගෙන සිටීමට සිදුව ඇත. අහෝ දුකකි……..

සටහන – විකී

2013-01-15