එපා වාහෙට හොදි බෙදීම හෙවත් ගොවියාට කෙලවීම..


index

පෙරදිග ධාන්‍යාගාරය කියා අපේ රටට නමක් ලැබී තියෙන්නේ සහ එහෙම හඳුන්වන්නේ කට කහනවට නෙමේය. අනාදිමත් කාලයක සිට අපේ රට සහලින් ස්වයංපෝෂිත වූ නිසාය. හෙල රජ දරුවන් මහා වැව් බඳවා කුඹුරු අක්කර ගණන් අස්වැද්දීමට පියවර ගත්තේ අද සිටින අමන නිළධාරින්ට සහ බලධාරීන්ට කාබාසිනියා කිරීමට නොවන වග සිහි තබාගත යුතුය.

යල මහ කන්න දෙකම හොඳට වැසි ලැබෙන ඊට අමතරව අතුරු කන්න වලදීද කුඹුරු කලහැකි රටක් ලෙස අපේ රට විශිෂ්ට දේශගුණික තත්වයක පවතී. නිසි කලට වැසි ලැබෙන අප රටෙහි කුඹුරු අක්කර දහස් ගණනක් පුරන්වී ඇති අයුරු රටපුරා සංචාරය කලහොත් දැකගත හැකි කරුණකි. එලෙස කුඹුරු පුරන්වී ඇත්තේ ගොවීන්ගේ කම්මැලිකම නිසා කෙතට බැසීමට නොහැකිව ගෙදර බුදිය ගන්නා නිසා නොව, තම කුඹුරට අවශ්‍ය නියම ප්‍රමිතියකින් යුතු බීජ නොලැබීම සහ පොහොර සහනාධාරය නොමැති කම නිසා මෙන්ම නිෂ්පාදන අස්වනු සහතික මිලකට විකුනා ගැනීමට නොහැකි වීම නිසාය.

කෙසේහෝ බළධාරීන්ට කන්කොඳිරිගා බීජ සහ පොහොර ලබාගෙන අස්වැද්දූවද, අස්වනු නෙලීමෙන් අනතුරුව ඒවා විකුණාගැනීමටද නොහැකිවී ඇත. රජයෙන් සහතික මිලක් වී අස්වැන්න සඳහා ලබා නොදීමෙන් ගොවියා අන්ත අසරණ තත්වයකට වැටී ඇත. කලුකඩ මුදලාලිලාගේ අතපල්ලෙන් වැටී සිය දාඩිය මහන්සියෙන් ලබාගත් අස්වැන්න කුනුකොල්ලයට ලබා දීමටද සිදුවේ. එහි ප්‍රතිපලයක් ලෙස ඊළඟ කන්නයේදී කුඹුරු අස්වැද්දීමට හැකියාවක් නැත. ඊට හේතුව වන්නේ ගොවියාගෙ අතමිට සරු නොවී දස අතේ ණයවී අන්න අසරණ තත්වයට පත්වීමය.

කෙසේ හෝ අවසානයේදී තම අස්වැන්න නියම මිලකට විකුණාගත නොහැකිව කුණු කරවල ගානට දෙන්නට සිදුවන්නේ වෙනත් කලහැකි දෙයක් නොමැති නිසාවෙනි. ඉන්පසු කලින් ගත් ණය පියවීමට ක්‍රමයක් නැත. අවසානයේදී උකසට තැබූ තමන්ගේ රොටරිය, ට්‍රැක්ටරයද  සින්න වේ. ඉන්පසු ටේලරය පමණක් ගේ පිටිපස්සේ දිරාපත්වේ. සමහරුන් එයද විකුණා දමති. අඹු දරුවන්නේ කනකර ආභරණද බැංකු වලට සින්න වේ. ණය කාරයින් පස්සෙන් පන්නන්න පටන් ගනී. එළියටවත් බැසීමට නොහැකි තත්වයක් උදාවේ. 

මේ සියල්ල බලා සිටීමට නොහැකිව අසරණ ගොවියාගේ බිරිඳ ආරාබි කාරයින්ගේ වහල් සේවයට යැවීමට ඇතැමෙකුට සිදුවේ. එහි ප්‍රතිපලයක් ලෙස ගෙදර සතුට සාමය හීනවී යන්නේ විදුලි වේගයෙනි. බොහෝ විට බිරිඳ නැවත හිස් අතින් සියරට පැමිණේ. එහි තවත් අතුරුපල රාශියකි. එනම්, මවගේ රැකවරණය නොලැබී යාමෙන් දරුවන් ඉබාගාතේ යෑමට පටන් ගනී. ඇහැට කණට පේන වයසේ ගැහැණු දරුවන් අකාලයේ සල්ලාලයින්ගේ ගොදුරු බවට පත්වේ. මේ සියල්ල විඳ දරා ගැනීමට නොහැකිව අසරණ ගොවියා සුරා සූදුවට ඇබ්බැහි වේ. ඔහු  කනමදයින් සේ බීගෙන ගෙදරට එන විට දරුවන්ටද සිය පියාණන් එපා වේ. අවසානයේදී අසරණ ගොවියාට සිදුවන්නේ සිය ජීවිතයෙන් වන්දි ගෙවීමටය.

පසුගිය කාලයේ ගොවීන් දිගින් දිගටම සියදිවි නසාගත් ආකාරය දකින්නට ලැබුනි. ඔවුන් එසේ කිරීමට පෙළඹුනේ කැසිල්ලට නොවන වග මතක තබා ගත යුතුය. එම මරණ පිටුපස ඇත්තේ ශෝචනීය කතා වස්තුවකි. එන් කඩා ඉහිරෙන ගොවි පවුලට අත්වන ඉරණම මෙතෙකැයි කියා නිශ්චය කිරීමටවත් නොහැකිය. සිය පියාට අත්වූ ඉරණම ගැන කල්පනා කරන ඔවුගේ පුතුන්ද මෙයින් කළකිරීමට පත්වේ නිතැතින්ම ඔවුන් වෙනත් රැකියා සොයා පිටව යන්නේ කුඹුරු කෙරුවාවට තිත තබමිනි. අවසානයේදී අක්කර අදහස් ගණනක් කුඹුරු පුරන්වී යන්නේ මේ අයුරිනි. පසුව මැති ඇමතිවරුන් සහ ගෝලබාලයින් පස් දමා ගොඩකර කාබාසිනියා කරන්නේ මෙම පෙරදිග ධාන්‍යාගාරයේ රත්තරන් වටින කුඹුරු ඉඩම් බව එක බල්ලෙකුටවත් නොතේරේ.

දේශීය ගොවියා නගා සිටුවා රට නැවතත් සහලින් ස්වයං පෝෂිත කිරීමට රජයට හෝ අදාල බලධාරීන්ට කිසිදු අවශ්‍ය තාවයක් නැත. ඊට හේතුද ගණනාවකි. පිටරටින් එන කොයි දේටත් දොහොත් මුදුන් දී වැඳ බඳාගැනීමට ජන්ම පුරුද්ද හිමි ලාංකිකයන් අතරින් රටේ පාලකයින් වන්නේද එම ගොබ්බ පුද්ගලයින්මය. ඉන්පසු ඔවුන් රටින් ගේන දේට කොමිස් ගැසීමේ ජාවාරම අහිමි කරගන්නට කැමති වන්නේ නැත. ගොවියාට හෙන ගැහුවත් ඔවුන්ට කමක් නැත.

මේ ගැන කල කතා බහකදී  හිතවත් රංජිත් රත්නායක කියූ දෙයක් මතක් කරන්නට කැමැත්තෙමි… සියලු කතාන්දර ගැබිවී ඇති එම ප්‍රකාශය මෙසේය…

”වලත්තයෝ පාලකයෝ බවට පත්වෙලා. ජනතාව උන්ගේ වහල්ලු වෙලා. චීන්නු නිෂ්පාදනය කරකොට ලාංකිකයෝ මිලදී ගන්නකොට ගොවියන්ට විකුනන්න වෙන්නේ කුට්ටම තමයි”.

-විකී-

චීවරය අස්සෙන් බේරෙන පාදඩ කම බලන්න හසන්ත මහත්තයෝ..


         ඔන්න ඉතින් හසන්ත මහත්තයෝ…..අර කලින් රඟ දැක්වූ රතුපස්වල නාඩගමේ ප්‍රධාන චරිතයත් දැන් ගලේ පරහපු බළළෙක් වෙලා නොවැ.. මේ අපේ මාතෘ භූමියේ තියෙන මහා සම්පතක් වෙච්ච ජල සම්පත දිවි හිමියෙන් සුරකින්නය කියලා පිහිටුවා ගත්ත සංවිධානය නේ ඔය ගම්පහ ‘සියනෑ ජලය සුරකීමේ ජන නැගුම‘ කියන්නෙ.

හසන්ත මහත්තයෝ … අනාදිමත් කාලෙක ඉඳන් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන විශිෂ්ට ජාතියක් අපි..අපේ මුතුන් මිත්තෝ එදත් හැම දේකටම පෙරටු කර ගත්තෙ අපේ උත්තරීතර මහා සංඝරත්නය නොවැ. ආඩම්බරයි හසන්ත මහත්තයෝ….ඒ නිසාම මේ සංවිධානයෙත් මූලාසනය වෙන් කලේ ඒ මහා සංඝරත්නයටම තමයි හසන්ත මහත්තයෝ…

බලන්න හසන්ත මහත්තයෝ…ඔය සංවිධානයේ  හිටපු සුප්‍රසිද්ධ අපේ හාමුදුරුවන් ඔය රතුපස්වල නාටකය පුරාවටම තමන් වහන්සේව හඳුන්වා ගත්තේ මේ සංවිධානයේ නායකයා හැටියටයි….ඇත්තටම අපිත් හිතුවෙ මේ අපේ පිං බිමේ පිනට පහල වෙච්ච උන්වහන්සෙ සිරාම පොරක් කියලයි හසන්ත මහත්තයෝ. . දැන් බලනකොට කෙළලා තියෙන්නෙ ඔය තාප්පෙට.. මගේ හෘදය වස්තුව ඇතුලාන්තයම කළඹවාගෙන ආශ්චර්යමත් ආඩම්බරයක් දැනෙනවා සහන්ත මහත්තයෝ… අම්මපා.

හසන්ත මහත්තයෝ,..ඔය සංවිධානයේ නායකයා කියාගෙන හිටපු උන්වහන්සේව දැන් එම සංවිධානයෙන් දොට්ට දාලා. ආරංචියේ හැටියට ඒ සංවිධානයේ උන්වහන්සේ ඉඳලා තියෙන්නෙ නායකයා හැටියට නෙවෙයි …අනුශාසක හැටියට. ඔන්න බලන්නකෝ හසන්ත මහත්තයෝ  ඒකෙත් හැටි. අපේ ඉතිහාසය පුරාවටම මේ වගේ නානාප්‍රකාර හුට්ටප්පර අපිට අහන්න දකින්න ලැබිලා තියෙනවා හසන්ත මහත්තයෝ…

එදත් කලේ ඔය ගමේ ගොඩේ වේලී වේලී ඉඳපු කවුරුහරි කෙනෙක් ටිකක් අලු ගසාදාලා ඇවිල්ලා පොර ටෝක් දීලා ටිකක් උඩට ආවහම පල්ලෙහා ඉන්න එවුන්ට කෙලලා තමන් ගතමනාව හොයා ගත්ත එකමනේ.. මේ ආශ්චර්යමත් මාතෘ භූමියේ අදත් මගේ ඇස්පනාපිට මේවා දකින්න ලැබෙනවා හසන්ත මහත්තයෝ… මොන තරම් ආඩම්බරයක්ද හසන්ත මහත්තයෝ…බලන්න මගේ ඇඟේ රෝමකූප ඉස්පෝක් කම්බි වගේ කෙලින් වෙලා තියෙන අපූරුව..

ඉස්සර කාලෙ අපේ පැරණි මුතුන් මිත්තෝ අවංකවම ජීවිත පරිත්‍යාගයෙන් ජනතා අරගල වලට නායකත්වය දුන්නා.. අන්තිමට මොකද වුනේ..? බඩු බනිස් වුනා විතරයි. ඇපත් නෑ. ඉල්ලං කෑවා. බලන්න ඔය වීර පුරන් අප්පු, ගොංගාලේ ගොඩ බංඩා, එතකොට සූර සරදියෙල් … මොකද වුනේ…? එයාලට ලැබිච්ච බිබික්කමක් නෑ. නිකං අනුන් වෙනුවෙන් ණයට කැස්සා විතරයි හසන්ත මහත්තයෝ…

ඒකට අපේ දැන් ඉන්න නායකයොයි කියාගත්ත උදවිය මොන තරම් විශිෂ්ටද හසන්ත මහත්තයෝ.. ඒ කාලේ මොකක්හරි කක්කා බාල්දියක් පෙරලලා සේරම පාවලා දුන්නෙ මොකෙක්හරි පහලම පෙලේ හිටපු සාමාජිකයෙක්නේ.. ඒකට දැන් අපේ පිං බිමේ විරාජමාන වෙලා ඉන්න උත්තමයො.. කෙලින්ම බහිනවා ගේමට.. ඔය එක එක පීචං පොරවල් මේක පාවලා දෙනකං බලන් ඉන්නෑ.. තමන්ම ජරාව කාලා ගේම පාවලා දෙනවා.. ෂුහ්..මට පුදුම ආඩම්බරයක් දැනෙනවා හසන්ත මහත්තයෝ..

දැන් බලන්න හසන්ත මහත්තයෝ,. ඔය හාදුමුරුවෝ මුලින් මැරුවත් නැගිටින්නෙ නෑ කියලා උපවාසෙකට වාඩි වුනානෙ.. රතුපස්වල කම්හල වහන්නම ඕනෙ කියලා තදින්ම කියා හිටියනේ.. ඒ අවුඅස්සෙ අර මහා ගිනි විජ්ජුම්බරයෙන් ජීවිත තුනකුත් අපේ මාතෘ භූමියට අහිමි වුනානේ.. ඒත් ඔය හාමුදුරුවෝ නෙවෙයි තමන්ගෙ සටන ඇතෑරියේ..කම්මල තාවකාලිකව හරි වස්සවලාමයි පස්ස බැලුවෙ. වාරියපොල ශ්‍රී සුමංගල හාමුදුරුවො වගේ අභීත සිංහ නාදයක් උන්වහන්සෙත් කලානෙ හසන්ත මහත්තයෝ… රතුපස්වල කම්මලට එදා ඇපත් නැතිවුනානෙ හසන්ත මහත්තයෝ.. මොන තරම් ආඩම්බරයක්ද..

ඒ එදා.. දැන් ඉතින් මේ ගමේ පන්සලට වෙලා  උන්වහන්සේට මේ පීචං පොරවල් එක්ක ඉඳලා වැඩක් නෑ හසන්ත මහත්තයෝ.. මොකද ගමේ පන්සලේ ඉන්න හාමුදුරුවො නිකම්ම නිකං සාදුනෙ… මෙලෝ රහක් නෑ. ඒ වගේද පිට පලාතකට වැඩ්ඩම.. පුහ්.. මාර පිළිගැනීමක් නොවැ තියෙන්නෙ. එක එක ජාතියේ වරදාන වරප්‍රසාද අම්බානක ලැබෙනවනේ.. මොකද ඉතින් නමත් ප්‍රසිද්ධයිනේ.. දැඟලුවෙත් ඒකටමනේ.. ඉතින් මේ ගමේ ගොඩේ ඉඳලා කවදා නම් ඕවා ලබන්නද.. පිටට වැඩ්ඩම ගමේ සංවිධානයට කොකා පෙන්නගෙන ඉහල ලොක්කන්ගෙ සාක්කුවට වැටිලා කටු ලෙවකන එන මොන තරම් සැපක්ද හසන්ත මහත්තයෝ.. කිසිම හිරිකිතයක් නැතුව ඕනෙම කුප්ප වැඩක් කරන්න පුලුවන්. අම්මපා.. අනික ලොක්කන්ට ඇණයක් වෙච්ච මේ වගේ අය දණගැස්සුවෙ නැත්නම් එතනත් අවුලක්නේ…අන්න ඒකයි උන්නාස්සෙ පිටට වැඩ්ඩෙ..මගේ පපු කැවුත්ත ආඩම්බරෙන් නලියනවා හසන්ත මහත්තයෝ..

ඉතින් හසන්ත මහත්තයෝ ඔයාකාරෙන් වැඩ සිද්දවෙන මේ අපේ මාතෘ භූමියේ තව තවත් ආශ්චර්යමත් දේවල් ඉදිරියේදිත් අහන්න දකින්න ලැබෙයි. රතුපස්වල නාඩගමේ කුප්ප කෙරුවාව දැන් දැන් එළිවෙනවනේ.. අනික එක රතුපස්වලට හමුදාව කැඳවුවේ කවුද කියලා මෙලෝ යකෙක් දන්නෑ නොවැ. පුදුම ආශ්චර්යයක් නොවැ ඒක. මේ රටෙන් පිටට හෝ ඇතුලට එක රත්තරන් බිස්කට් එකක්, කුඩු පැකට් එකක් අද ගෙනියන්න ගේන්න පුලුවන්ද..? ඒ තරම් ආරක්ෂක උපක්‍රම අම්බානක. අන්තිමට නැහැයි කියන ඒවා එළියට ගන්නෙ පුකෙන් …සොරි සොරි.. පශ්චාත් භාගයෙන්…. පුහ්.. බලන්න හසන්ත මහත්තයෝ මොන තරම් ආඩම්බරයක්ද..

ඒත් මෙච්චර දෙනෝදාහක් අරගලයක් කරපු, පොලීසියේ සොක්කගෙ ඉඳන් ලොක්කා වෙනකම්ම ඉන්න, හැම දෙයක්ම නීතියට අකුරට ඉටු කොරන පොලීසියේ උසස් මහත්තුරු තියා සක්කරයාවත් දන්නෑ හමුදාව ගෙන්නුවෙ කවුද කියලා. ඔය මුඩුක්කුවක කුඩු ජුංඩක් එක්ක අහුවෙන කොලු ගැටයෙක්ගෙ ඇට අමුංඇට වෙන්න නෙලලා නැති කුඩුත් අතින් දාලා හරි මිනිහට ගේම දෙන අපේ නීතියට අර හමුදාව ගෙන්නපු කෙනා හොයාගන්න බෑ… මොන තරම් ආඩම්බරයක්ද හසන්ත මහත්තයෝ… බලන්න මගේ ඇස්වලට එබිලා හසන්ත මහත්තයෝ.. තනි ඇහැට ඇඬෙනවා.

කොහොමින් හරි කමක් නෑ ඔන්න තවත් ජනතා සංවිධානයක ප්‍රධාන අනුශාසක වෙච්චි චීවර ධාරියාත් ජරාව කාලා ලොක්කන්ගෙ ඔඩොක්කුවේ ඉන්නවලු. දැන් අර ජනතාව විස වතුර පොවපු, අහිංසක ජීවිත තුනක් බිල්ලට දීපු, සිය ගණනක් තුවාල කරපු, රටේ කීර්ති නාමයද මොකක්ද කියන එක ජාතියන්තරය ඉදිරියේ හෑල්ලු කරපු  කම්මල හරි ශෝක් ලු.  මට පට්ට අභිමානයක් දැනෙනවා හසන්ත මහත්තයෝ… මගේ හදවත මේවා දකිනකොට නිකං පං පං ගානවා හසන්ත මහත්තයෝ..ඔය චීවරය අස්සෙන් බේරෙන පාදඩ කම බලන්න හසන්ත මහත්තයෝ. මේක තමයි ආසියාවේ ආශ්චර්යය හසන්ත මහත්තයෝ…

-විකී-