ප්‍රේමය සමග මරාගෙන මැරිල්ල..


              මේ කතාව ලියන්න සිතුනේ පත්තරේ පලවී තිබුන ලිපියක් දැකීමෙනි. ඇත්තටම ඇයි මරාගෙන මැරෙන්නෙ..? මරාගෙන මැරිල්ල ගැන අපට වඩාත් ප්‍රබලව අහන්න ලැබෙන්නෙ එල්.ටී.ටී.ඊ සංවිධානයෙනි. ඔවුන් එසේ කලේ තම ඉලක්කයන් ජය ගැනීමටයි. එයින් තම සංවිධාන ශක්තිය සහ බිහිසුණු කම ගැන ලොවට මහ පරිමාණයෙන් චිත්‍රයක් මවා පෑමට ඔවුන් සමත් වුනා. එහෙත් මේ කතා කරන්නෙ ඔවුන්ගේ මරාගෙන මැරිල්ලක් ගැන නෙවෙයි.

මේ අපේ රටේ ආරක්ශක අංශ නිළධාරීන් කාලයක පටන් සිදුකල මරාගෙන මැරිල්ල ගැන කතාවකි. පසුගිය කාලය පුරාවට විටින් විට අපට අසන්න ලැබුනු ප්‍රවෘත්ති අතර ආරක්ෂක අංශවල සාමාජිකයින් බොහෝ දෙනෙක් සිය ජීවිතය අවසන් කරගත්තේ ඉතා අවාසනාවන්ත ලෙසිනි. ඒ සිය රාජකාරී වේලාවෙදීම හෝ රාජකාරියෙන් පසු අවස්තාවන් වලදීය.

යුද්ධය නිමාවී වසර කිහිපයක් ගතවී ඇතත් යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්ද විවිධ මානසික පීඩනයන්ගෙන් යුතුව සිය රාජකාරියේ නිරතවන බවට උදාහරන දිනපතා පුවත් මගින් නිතර අසන්නට දකිනන්ට ලැබේ. එහි ප්‍රතිපලයක් ලෙස සිය පුද්ගලික ජීවිතය පෙරකී පිඩනයට යටත් වූ විට එම පීඩනය පුපුරා යන්නේ සිය ජීවිතයෙන් පමණක් නොව අසරණ ජීවිත කිහිපයකින්ම වන්දි ගෙවමිනි. ඉතාමත් දරුණු ගණයේ පුහුණුවක් සහ දරාගැන්ම අතින් ඉහලම තලයක සිටින කොමාන්ඩෝ වැනි බලකායක සාමාජිකයින්ද මෙලෙස සියදිවි නසා ගැනීම විශේෂයෙන් අවධානය යොමු කල යුතු කරුණකි.

බොහෝ සියදිවි නාසාගැනීම් වලට මූලික හේතුව වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාය. මේ අතර නියම සහ අනියම් වශයෙන් ප්‍රේම වෘත්තාන්ත පසුබිමෙහි දක්නට ලැබේ. බෝ විට අවිවාහක සම්බන්ධතා මෙන්ම විවාහකක ප්‍රේම සම්බන්ධතාද ඇත. මෙයට හේතුව කුමක්ද යන්න නිවැරදිව නිර්නය කිරීම අපහසු වූවත් මා දකින ප්‍රධාන කරුණු කිහිපයක් ඇත.

පසුගිය යුධ සමයේදී ආරක්ශක අංශ වෙත බඳවා ගත් සාමාජිකයින් වැඩිමනක් දෙනා පාසල් ජීවිතය අවසන් කල වහාම හමුදා හෝ පොලිස් සේවය සඳහා එක්වූ අය වේ. මොවුන් හට ලැබී ඇත්තේද ඉතාමත් කෙටි යුද පුහුණුවක් බව බොහෝ ආරක්ෂක සාමාජිකයින් පවසති. එහෙත් එය යුද්ධයකට ප්‍රමාණවත් වේද නැද්ද යන්න ගැන මා කතා නොකරමි. එහෙත්, යුධ මානසිකත්වයේ සිටි එකී සාමාජිකයින් යුද්ධයෙන් පසුවද ගෙවන්නේ මහත් පීඩාකාරී ජීවිතයක් බව බොහෝ ආරක්ෂක අංශ සාමාජිකයින් පවසන කතාවකි.

බොහෝ දෙනා ආරක්ශක අංශ වෙත සම්බන්ධ වූයේ හුදෙක් ආර්ථික අපහසුතා මගහරවා ගැනීමට බව ඔවුන්ගේ පුද්ගලික ජීවිත දෙස බලන විට පෙනී යන යතාර්තයකි. එහෙත් එම යතාර්ථය හමුවේ වුවද සිය රාජකාරී යුතුකම හා කැප කිරීම දශමයකුදු අඩු නොකල බව දශක කිහිපයක් පුරාවට පැවති යුද්ධය ජයග්‍රහණය කිරීමෙන්ම පෙනී යන වැදගත් කරුණකි.

එය එසේ වූවත්, යුද්ධයෙන් පසුව පෙරකී යුද මානසිකත්වයෙන් සිටි නිළධාරීන් නිසි ලෙස එකී මානසිකත්වයෙන් මුදවා සාමාන්‍ය පරිසරයට හැඩගැස්වීම කෙතරම් දුරකට සිදු වූවාදැයි අප නොදනිමු. එහෙත්, එකී මානසික පීඩනයම තවමත් ආරක්ශක අංශ වල සාමාජිකයන් අතර මුල් බැසගත් ප්‍රධාන කරණු අතර පවතින බව පෙනීයයි.

ආරක්ෂක අංශවල වඩාත්ම තදින් පවතින දෙයක් වන්නේ එහි පවතින දැඩි විනයයි. එකී විනය පවත්වා ගැනීම සඳහා සාමාජිකයන් වෙත එල්ල කරන බලපෑමද අති මහත්ය. එනිසාම එම අංශයන්හී සාමාජිකයින් ඉතාමත් නීති ගරුක හා විනය ගරුකව සිටිති. එහෙත් බොහෝ සාමාජිකයින් මෙන්ම නිළධාරීන්ද නිසි මානසික තත්වයක නොමැති බව පෙරකී හසිදි කෝපයන් හා සියදිවි නසාගැනීම් වලින් පෙන්නුම කරයි.

කෙතරම් විනය ගරුකව පවතින ආයතන වූවත්, ආරක්ශක අංශ සාමාජිකයින් වෙන නිසි උපදේශනයක් නොලැබෙන බවට මෙකී මරාගෙන මැරෙන ක්‍රියාවන් ගෙන් පෙන්නුම් කරයි. හමුදා රාජකාරී කාලයේදී කොතරම් විනය ගරුකව හැසිරුනද සිය පුද්ගලික ජීවිතයේදී මෙසේ අඥානව ක්‍රියා කිරීම තුල ඔවුන්ගේ මනස නිසි ලෙස පුනරුත්ථාපනය නොවී ඇති බව පෙනී යන කරුණකි.

මේ ආරක්ශක අංශ සාමාජිකයින් වෙත නිසි උපදේශන සේවාවක අවශ්‍යතාවය තදින් දැනෙමින් පවතින යුගයකි. එයට ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ නාරාහෙන්පිට පොලිස් ගරාජය තුලදී පොලිස් කොස්තාපල් වරයෙකු පොලිස් කොස්තාපල්වරියක වැළඳ ගෙන බෝම්බයක් පුපුරුවා හැරීමය. එයින් පසු ආරක්ශක අංශ සාමාජිකයින් සඳහා නිසි මානසික උපදේශනයක අවශ්‍යතාවය දැනුනත් එය කෙතරම් දුරට සිදු වූවාදැයි සිතෙන්නේ ඉන් පසුවද මරාගෙන මැරීම් සහ සියදිවි නසා ගැනීම් දිගින් දිගටම වාර්තා වීම නිසාය.

බොහෝ ආරක්ෂක අංශ සාමාජිකයින් මෙසේ සියදිවි නසාගත්තේ ඉතා අඩු වයසින් වීමද සළකා බැලිය යුතු කරණකි. පාසල් ජීවිතයෙන් සමු දුන් වහාම ආරක්ශක අංශ වෙත අයදුම් කර එහි සේවයට එක්වූවද, ඔවුන් සතු සමාජමය දැනුම සහ යහපාලනය වගේම අත්දැකීම් වලින්ද තොර වීම මෙම ගැටලුවේ ප්‍රධාන සාධකය පටන් ගැන්මකි. ඉන්පසු ඇතිකරගන්නා ප්‍රේම සම්බන්ධයන් වලදී මතුවන ගැටලුකාරී තත්වයන් හමුවේ පෙර කී දැනුම මද කම සහ නිසි අවබෝධය මද කම සිය ජීවිතය නිස්සාර දෙයක් හැටියට දැකීමට මග පාදයි.

මෙහි ප්‍රතිඵලය වන්නේ තමාගේ මනස පාලනය කරගත නොහැකිව ක්ෂණිකව සිතූ දේ ක්‍රියාත්මක කිරීමයි. එමගින් සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නේ බොහෝ විට සිය පෙම්වතියද මරු තුරුලට යවමිනි. මෙලෙස ආත්මාර්ථකාමී ආදරයක් ඉතා ඛේදනීය ලෙස අවසන් වන්නේ බොහෝ විට සිය රාජකාරී ජීවිතයේ ඇති දුක්ගැහැට සහ මානසික පීඩනය දරා ගැනීමට ඇති නොහැකියාව පදනම් කර ගනිමිනි. මෙකී නිළධාරීන් හට නිසි මානසික උපදේශනයක අවශ්‍යතාවය මතුවන්නේ මේ නිසාය.

අනෙක් කරුණ නම් විවාහ වූ අයවලුන්ද අනියම් පෙමක පැටලීමය. බොහෝ ආරක්ෂක අංශ සාමාජිකයින් හට සිය නිවෙස්වල ගත කරන්නට ඉඩ ලැබෙන්නෙ ඉතාමත් සීමිත කාලයකි. සිය බිරිඳ හෝ ස්වාමියා සමගින් පවුල් ජීවිතයක් ගෙවන්නේද නිසි අවබෝධයකින් නොවේ. එනිසා විවිධත්වය දැකීම සහ අනියම් ඇසුරට යොමුවන පිරිස වැඩිය. මෙකී තතිවයන් හමුවේ සිය නොමේරූ මනස දසඅතේ යන්නට ඉඩදී හැඟීම් වලට වහල් වනවා හැර වෙනත් කිසිදු විකල්පයක් නොමැත්තේ, නිසි උපදේශනයක් නොලැබීම හේතුවෙනි.

ප්‍රේම සම්බන්ධතා වලදි ඇතිවන සිත් තැවුල නිවා ගැන්මට අවැසි වට පිටාවක් ආරක්ෂක අංශ තුල කොහෙත්ම ඇති නොවේ. මොන දේ වුනත් සිය රාජකාරියට මුල් තැන දීම අනිවාර්ය වේ. සිය ප්‍රධානීන්ගේ අඩන්තේට්ටම් විඳ දරා ගනිමින් ප්‍රේමයේ වේදනාවද විඳ දරා ගැනිමට තරම් පරිණත මනසක් සහ හැකියාවක්ද මෙකී තරුණ නිළධාරීන් සතු නොවේ. එහෙයින් තමන්ගේ  සියලුම පීඩනයන්ට තිත තැබීමට ගිනි අවිය ක්‍රියාත්මක කර ගැනීම හෝ වෙනයම් මාර්ගයකින් ජීවිතය නැති කර ගැනීමට පොළඹෙන්නේ තම ආදරයේ අනෙක් පාර්ශ්වය වන පෙම්වතියටද මරු කැඳවමිනි.

මෙහි වඩාත් ඛේදනීය තත්වය වන්නේ පෙම් පලහිලව්වට පැටලුන දෙදෙනාට පමණක් නොව අසරන ජීවිත කිහිපයකටම වන්දි ගෙවීමට සිදුවීමයි. එය අනියම් පෙමක් නම් තත්වය වඩාත් දරුණු වන්නේ ඔවුන් සතු දරුවන්ද අනාථ වීම නිසාය. හමුදා රාජකාරි කරන බොහෝ සොල්දාදුවන් පසුවන්නේ සිය බිරිඳ හෝ ස්වාමියා පිළිබඳ යම් සැකයකින් වීමද විශේෂත්වයකි. එයට හේතු වන්ගේ ඔවුන්ගේ රැකියාවේ ස්වභාවය නිසාම විවිධ ප්‍රෙද්ශයන්හි විසීම සහ දෙදෙනාගේ දුරස්ථ භාවයයි. මේ නිසා දෙදෙනා අතර මනා අවබෝධයක් නොපැවතීම සහ අනෝන්‍ය බැඳීම පිලිබඳව ඇති අඩුලුහුඩු කම්ද හේතු වේ.

මෙනිසා සිය අවශ්‍යතාවයන් තාවකාලිකව හෝ කිසියම් කෙනෙකුගෙන් අනියම් අයුරින් පිරිමසා ගැන්මට පෙළඹෙන බැවින් පෙරකී තත්වය වර්ධනය වෙයි. එයින් පසු නිතර අර්බුධකාරී තත්වයන් පැන නගින අතර ඒවා විසඳා ගැනීමට තරම් ශක්තියක් සහ මානසික මට්ටමක් නොපැවතීම අර්බුධය මහා විනාශයක් කරා රැගෙන යාමට උපකාරී වේ.

කෙසේ වෙතත්, දශක කිහිපයක දරුණු යුද මානසිකත්වයක් හමුවේ මහත් පීඩාකාරී ජීවිතයක් ගත කල සියලුම ආරක්ෂක අංශ සාමාජිකයින් වෙත සිවිල් ජන සමාජය පිළිබඳව සහ සිය මානසික යහපාලනය පිළිබඳව නිසි උපදේශනයක අවශ්‍යතාවය තදින් දැනෙමින් පවතී. පවතින යුගයට සාපේක්ෂව රාජකාරී ස්වභාවයන් වෙනස් කිරීම හෝ නිසි මානසික උපදේශනයක් ලබා දීම තුලින් පෙරකී තත්වය මගහරවා ගැනීමට හැකිවෙතැයි මාගේ අදහසයි. නැතහොත්, තවත් ජීවිත විශාල සංඛ්‍යාවකට අකාලයේ ජීවිත වලින් සමු ගැනීමට සිදුවීම වැළැක්විය නොහැකි කරුණකි.

-විකී-

Advertisements

3 thoughts on “ප්‍රේමය සමග මරාගෙන මැරිල්ල..

  1. බොහොම හොඳ ලිපියක්. විශේෂයෙන් අගය කරනවා. මේ විෂයය ගැන විශේෂඥයකු වන වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත ග්‍රන්ථයක් ඇසුරෙන් මමත් ලිපියක් ලිව්වා මගේ අඩවියේ කලකට ඉහතදී. ඒ ලිපිය මෙතනින් බලන්න පුළුවන්

  2. 🙂

  3. Pingback: Niruwatha|නිරුවත

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s