ලිංගිකත්වය, මනෝ භ්‍රාන්තිය සහ පාලකයෝ..


 

           පසුගිය දශක කීපය ගැන බැලීමේදී ලංකාවේ ජන විඥාණය ලෝකය දෙස බැලූ ප්‍රමාණයට වඩා සිය දහස් ගුණයකින් වර්ථමානය වන විට වැඩිවී ඇත. ඉදරියේදී එය තව තවත් වර්ධනය වේ.

මෙහිදී සාම්ප්‍රදායික සිරිත් විරිත් මෙන්ම පුද්ගලික සදාචාරාත්මක කාරණා සහ සංස්කෘතික නියමයන්ද අතික්‍රමණය වීම නොවැළැක්විය හැකි කරුනකි. මෙම කරුණු සළකා බැලීමේදී මතුවන ප්‍රධාන  ගැටලු කිහිපයක් ඇත. හුදෙකලාව තිබූ ලාංකීය ජන සමාජය විවෘත ආර්ථිකයත් සමග මතුවූ වානිජ රැල්ළට හසුව ක්‍රම ක්‍රමයෙන් ඒ වෙන පරිණාමය වීමක් දක්නට ඇත.

මෙම පරිණාමයේදී ස්වකීය ජන සමාජයේ පවතින අඩුපාඩු සහ වෙනස්විය යුතු කරුණු කාරනා බොහෝ ප්‍රමාණයක් ඇතැයි නිගමනයකට පැමිණිය හැකිය. නමුත් ඒවා බාහිර ලෝකය සමග ගැලපීමට යෑමේදී මතුවන ගැටලු සහගත තත්වයන් නිසා මුලුමහත් සංස්කෘතියම උඩු යටිකුරු වීමේ තත්වයක් උද්ගතවේ.

ලංකාවේ පැරැන්ණන් තමන්ට ආවේණික ජීවන රටාවක් මෙන්ම සංස්කෘතික බැම්මකින් කොටු කරන ලද සදාචාරයක් ගොඩ නගා ගනිමින් ජීවන රටාව ගෙන ගිය අය වූවෝය. වත්මන් සමාජ විපර්යාසය මහා ව්‍යයසනයක් ලෙස පෙනුනද, මින් පෙරද බටහිර රටවල් තුල එකී තත්වය පැවතී ඇත. එහෙත් එය ලංකාව වැනි රටකට ව්‍යාප්ත වූයේ බොහෝ ප්‍රමාදවී බැවින් අද දකින ව්‍යයසනයට වඩා සිය ගුණයකින් පමණ වැඩි තත්වයක් බටහිරින් දැකීමට පුලුවන.

ගතානුගතික සංස්කෘතික ලක්ෂණ සමගින් එක තැන පල්වූ ජන විඥාණයක් හිමි ලංකාවේ ජනතාව බටහිර සහ යුරෝපා රටවල් සමග එක්ව කටයුතු කිරීමට පෙර නොවූ විරූ අවස්තාවක් වර්තමානයේ උදාවී ඇත.  ඉතා දියුණු  තාක්ෂණයේ බලපෑම මුලුමහත් ලෝකයම වෙලා ගනිද්දී ලංකාව තවමත් ඒ වෙන නතුවී ඇත්තේ ඉතා ස්වල්ප වශයෙන් බව පෙනී යයි. එහෙත් ඒ ස්වල්පයෙන් ඇතිකල බලපෑම සුලුපටු නොවේ.

අතීතයේදී පිට රටවල් සමග සම්බන්ධකම් පැවැත්වීමට අවකාශයක් තිබුනේ ඉතා ධනවත් මෙන්ම තාක්ෂණය අතින්ද පොහොසත් කිහිප දෙනෙකුට පමණි. ඒ අවස්තාවත් ඔවුන්ටම පමණක් සීමාවී තිබුනි. ඒ වෙත ලංවීමටවත් නොහැකිව සිටි බහුතරයට සිදුව තිබුනේ තමන්ගේ වටපිටාව තුල පමණක් ජීවත් වීමටය. එහෙත් අද තත්වය ඊට හාත්පසින් වෙනස්වී ඇත. බටහිර සහ යුරෝපා ජන සමාජවල කරක් ගැසීමට මෙන්ම ඔවුන්ගේ සංස්කෘතීන් සහ සදාචාරයන් තුලට පිවිස රිසිසේ කටයුතු කිරීමේ අවස්තාව අදවන විට සෑම තරාතිරමකම ජනතාවට උදාවී ඇත. ලෝකයම ඇස් ඉදිරිපිටට ගෙන බැලීමට අද තත්පරයකින් හැකිය. ඊට නවීන තාක්ෂණයෙන් ලැබෙන පිටුවහලද මෙතෙකැයි කිව නොහැකි තරම්ය.

මේ තත්වය තුල අනාදිමත් කාලයක පටන් පැවතගෙන ආ ලාංකීය සදාචාරය සහ සංස්කෘතිය යන කාරණා බාහිර ලෝකය හමුවේ අභියෝගයට ලක්වන්නේ ගැටලු රාශියකට මුල පුරමිනි. මානුෂික නිදහස මෙන්ම ස්වකීය සිතුම් පැතුම් පවා සංස්කෘතික පවුරු යදම්ලා සිරකර තිබූ ලාංකිකයන් බාහිර ජන සමාජය හමුවේ අන්ත අසරණ තත්වයට පත්වූ බව බැලූ බැල්මට පෙනීයයි. නමුත්, ලාංකීය ජන සමාජය තුල එම නීති රීති සහ න්‍යායාත්මක සාධකයන් එතරම්ම ගැටලුවකින් තොරව පවත්වාගෙන ගියද, තරගකාරී ලෝකය හමුවේ එම සීමා මායිම් තරණය කිරීමට සිදුව ඇති ආකාරයක් පෙනී යයි.

ප්‍රෞඩ ඉතිහාසයකට උරුම කම් කියන ලංකාවේ ජන සංස්කෘතිය දෙදරා යෑමට පටන් ගන්නේ මෙයින් අනතුරුවය. බැලූ බැල්මට සදාචාරයක් සංස්කෘතියක් නැතැයි නිගමනයකට එන බටහිර සංස්කෘතියේ ඇති සියලූම කරුණු කාරණා අධ්‍යයනයකින් තොරව එක පොදියට බඳාගන්නා ලාංකිකයා අනතුරේ වැටෙන්නේ ඔහුටත් නොදැනීමය. එහෙත් බටහිරින් උකහා ගැනීමට ඇති සදාචාරාත්මක දෑ තෝරා බේරා ගැනීමට ලාංකිකයන්ට ප්‍රමාණවත් දැනුමක්ද නැති බව පෙනීයයි.

එයට හේතුවී ඇත්තේ තමන් පිවිසි බාහිර ලෝකය සමග ගනුදෙනු කිරීමේදි අධ්‍යයනයන් සඳහා වෙලාවක් නොමැති කමයි. තරගකාරී ලෝකය සමග හැල්මේ දිවීම හැර නැවතිල්ලේ සිතීමට තරම් අවකාශයක් සහ අවශ්‍යතාවයකුත් නැත්තේ, හදිසියේ ලැබුනු අසීමිත නිදහස මෙන්ම විසිතුර විඳීමට එය බාධාවක් යැයි සිතන නිසාය.

78 ව්‍යවස්ථාවෙන් ස්තාපිත විවෘත ආර්ථිකයේ අනිටු ඵල ලෙස මෙම තත්වය හැඳින්වූවත්, ඒ තුලින් රට තුලට ගලා ආ සංවර්ධනයේ රැස් දහර වත්මන් ලංකාවේ විවිධ කඩඉම් අවස්තා කෙරෙහි සුභවාදීව බලපෑ බවද අමතක නොකල යුතුය. විවෘත ආර්ථිකයත් සමග රට තුල ආයෝජනය වූ විවිධ  රටවලට අයත් වාණිජ ව්‍යාපාර වලින් ලංකාවේ ජන සමාජයේ ආර්ථිකය පෝෂණය වූවත්, ඒ හරහා ලංකාව තුලට සංක්‍රමණය වූ සංස්කෘතීන් ගණන විවිධාකාර විය.

එම සංකර සංස්කෘතීන් තුලට නිරායාසයෙන් පිවිසි ලාංකීය තරුණ පරපුර මෙහි ඇති අපූර්වත්වය ගැන ඉතා ඉහලින් සළකන්නට වූහ. එය අනුගමනය කරන්නට වූහ. එහෙත්, තමන් ජීවත්වූ වටපිටාවට අනුව එය කෙතරම් දුරට ප්‍රායෝගිකද යන්න පිළිබඳව විමිසීමක් නොකිරීමට පෙළඹෙන්නේ නැත. එහෙත් අපේ සංස්කෘතිය සමග ඒවා සැසඳීමට උත්සහ කරති.

90 දශකයෙන් පසු බිහිවූ තරුණ ප්‍රජාව මෙකී ව්‍යයසනයේ උච්චතම අවස්ථාව භුක්ති විඳිමින් සිටී. ඔවුන්ගේ ලෝකය ආරම්භ වන්නේම පෙරකී සංකර සංස්කෘතිය ඇතුලේදීමය.  එහෙයින් ඔවුන්ගේ සංස්කෘතිය ලාංකීය යැයි කීමට නොහැකි තරම් සහ බටහිර කරනය වූවකැයි කීමටත් නොහැකි කලවම් මෙන්ම විකාර රූපී වූවකි. 90 දශකයෙන් එපිට පිරිසත් එයින් මෙපිට පිරිසත් අතර ගැටුම ආරම්භ වන්නේ මෙතැනිනි.

පැරැන්නන්ගේ දැක්ම සහ විඥාණය අනුව ඔවුන් ජීවත් වන්නේ තවමත් නොදියුණු ලෝකයකය. එහෙත් භෞතික වශයෙන් ඉතා දියුණු ලෝකයක ඇතුලේය. මෙහිදී සිදුවන නොගැලපීමට විසඳුමක් සෙවීමට ඔවුන්ට පුලුවන් කමක් නැත. සිතුම් පැතුම්, සාරධර්ම සහ චර්යාවන් දෙස බැලීමේදී වැරැද්දක් නොපෙනුනද, වත්මන් ලෝකය හමුවේ ඔවුන් දැඩි පසුගාමී තත්වයක සිටින බවක් පෙනී යයි.

වත්මන් අර්බුධකාරී තත්වය ඇතිවීමට ලංකාවේ දේශපාලනයද තදින්ම බලපෑ බව පෙනී යන තවත් කරුණකි. අනාදිමත් කාලයක සිට හුදෙකලාව විසූ ලංකාවේ ජනතාව පාලනය වූවේද හුදෙකලා පාලනයකට නතුවය. එහෙත් නායකයන් පමණක් නූතන ලෝකය සමග සම්බන්ධකම් පැවැත්වීය. ධනපතිවාදය මීට ඉවහල්වූ අතර සාමාන්‍ය පොදු ජනතාව කෙරෙහි එම වරප්‍රසාද බල නොපැවැත්විනි.

එහෙයින් ඉතා සීමිත තරගයක් හමුවේ බටහිර අධ්‍යයනය කර ඒ තුල ඇති සාරවත් දෑ සිය ජීවිතයට එකතු කර ගැනීමට ඔවුන්ට ඉඩ ප්‍රස්තාව තිබුනි. එහෙත් එම න්‍යායාත්මක දෑ පොදු ජනතාව අතර බෙදාහදා ගැනීමට පාලක පක්ෂය උනන්දු වූවේ නැත. ඒ තත්වය දිගින් දිගටම පැවතෙද්දී ජන සමාජයක් හැටියට හුදෙකලා වූ ලාංකීය මිනිසුන්ට සිය සංස්කෘතිය අනුව ජීවත් වීමට සිදුවිය.

ඒ ආකාරයෙන් ඉදිරියට ආ වත්මන් පාලක පක්ෂය මෙයින් බොහෝ වරප්‍රසාදයන් අත්පත්කර ගති. ජනතාව බද්ධිමත් කමින් අඩු නූගත් පිරිසක් වීමම පෙර කී පාලක වර්ගයෙන් පැවත  එන වත්මන් පාලකයින්ටද වාසි සහගත වේ. බාහිර ලෝකයේ සිදුවන දෑ ගැන මෙලෝ හසරක් නොදන්නා ලාංකීය ජනතාව ගොනාට ඇන්දවීම ඒ තරම් අපහසු කටයුත්තක් නොවන්නේ ඒ නිසාය.

එහෙත් සාක්ෂරතාවය අතින් ලෝකයේ ඉදිරියෙන් සිටින ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයින් හැඳින්වීමට පාලයින් දැඩි උත්සාහයක නිරත වෙති. නමුත් ඒ නාමිකව විනා යතාර්තවාදීව නොවේ. සිය ජනතාව මානසිකව තෘප්තිමත් කිරීමේ කූට උපක්‍රමයක් ලෙස එසේ පවසන බව ලාංකිකයින්ටද නොපෙනෙන්නේ පෙර කී නූතන ලෝකය සමග යාවත්කාලීන තත්වයක් නොමැති නිසාය.

තමන්ගේ නම ගම ලියාගත හැකිවූ පමණික් ජන සමාජයක, රටක සාක්ෂරතාවය මැනිය නොහැකිය. පරිඝණකයක් ක්‍රියාත්මක කල පමණින් එය මැනිය නොහැකිය. අන්තර්ජාලය පරිහරණය කල පමණින් එය මැනිය නොහැකිය. මේවා සියල්ල පාලකයින්ගේ පැවැත්ම උදෙසා නිර්මාණය කල බව ජනතාවටද තේරුම් ගැනීමට නොහැකිය. එසේ වී ඇත්තේ පාලක පක්ෂය පමණක් බාහිර ලෝකය සමග යාවත්කාලීනව ඇති නිසාය.

බටහිරින් එන සියලු කුණුකන්දල් දොහොත් මුදුන් දී පිළිගැනීමට තරම් උනන්දුවක් ඇති ලාංකීය ජන සමාජය එයින් ඇතිවන අයහපත ගැන අබමල් රේණුවක තරම් තැකීමක් නොකරති. එහෙත් අයහපතක් ගැන කතාබහද කරති. මෙහි යම් ගැටලුකාරී තත්වයක් ඇත. එනම්, සීමා මායිම් අතික්‍රමණය කරන්නට තරම් උවමනාවක් පවතී. එසේ වී ඇත්තේ සිය ජීවිත සිරවී ඇති නිසාය. එය සංස්කෘතික සහ සමාජයීය සිරවීමකි. මෙයින් අත් මිදීමට ඇති ස්වභාවික කැමැත්ත නිසාම ඕනෑම කුණු ගොඩකට කර ගසන නමුත්, එමගින් ඇතිවන ප්‍රති විපාකයන් හමුවේ සුදුසු පියවර ගැනීමට හැකියාවක් නැත. එසේ වී ඇත්තේ නූතන ලෝකය සමග නිසියාකාර යාවත්කාලීනත්වයක් නොමැති නිසා බවද පෙනීයයි.

නූතන තරුණ පරපුර විශේෂයෙන් එම අවස්ථාවට මුහුණපා සිටිති. ඔවුන් බිහිවූයේ  ලාංකීය සංස්කෘතිය ඇතුලේ වුනත් ජීවත් වීමට සිදුව ඇත්තේ කලවම් සංස්කෘතියක් තුලය. ලංකාවේ අපට නැති අසීමාන්තික නිදහසක් බටහිර සංස්කෘතියේ අඩංගු වෙයි. ඔවුන්ගේ ලෝකය නිදහස් මෙන්ම විවෘත ස්වභාවයක් ගනී. මෙම වෙනස වටහා ගන්නා ලාංකිකයා දෙලොවක් අතර අතරමං වීම සාධාරණ තත්වයකි.

අපේ සංස්කෘතිය අපට වටිනවා සහ එය රැක ගත යුතුයි යනුවෙන් බොහෝ දෙනා පැවසූවත් ඒ සියලු දෙනාද එම සීමාවේ රැඳීමට මැලිකමක් දක්වති. මිනිසෙකු වශයෙන් ලැබිය යුතු කායික මානසික නිදහස අසීමිතව නොවුනත්, යම් ප්‍රමාණයකින් හෝ ලැබීමට සියලු දෙනා කැමැත්තක් දක්වති. එහෙත්, ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ලාංකික ජන සංස්කෘතිය කොතෙක් දුරට එම සීමාවන් ආරක්ෂා කරගෙන සිටිනවද යන්න ගැන විමසිය යුතුය.

හෙළ කුල සිරිත් විරිත් යැයි පම්පෝරි ගසමින් අද සාම්ප්‍රදායික විවාහ උත්සවයද පවත්වන්නේ සංකර සංස්කෘතීන්ගේ කලවම් අංගයන් එකතු කරමිනි. ඇඳුම් පැළඳුම් පවා නිමවෙන්නේ සංකර ගතියකිනි. ඒ හැර සියලූම ආකාරයේ උත්සව මෙන්ම වැදගත් අවස්ථාවන් නිර්මාණය වන්නේද බටහිර සහ යුරෝපීය අංගයන්ගේ එකතුවකිනි. නමුත් පවසන්නේම ලාංකීය සංස්කෘතිය වැදගත් බවකි. එහෙත් බැලූ බැල්මටවත් එහි එවන් දෙයක් නැත.

අද ලංකාවේ කිසිදු පෞද්ගලික ආයතනයක් හෝ රජයේ ආයතනයක් ලාංකීය ආරක් අනුව පවත්වාගෙන යන බවක් පෙනෙන්නට නැත. සියලු කටයුතු සිදු කෙරෙනුයේ බටහිර පන්නයේ සිරිත් විරිත් සහ අංගයන් ඇසුරු කරගෙනය. එසේ තිබියදී ලාංකීය ජනතාව සංස්කෘතියක් තුල සිරවී සිදු කරන්නේ නාමික වශයෙන් ලාංකීයත්වය රැකීම පමණකි. මෙවන් තත්වයක් තුල ලංකාවේ සංස්කෘතියක් ගැන කතා කිරීමද විහිලුවක් බව පෙනී යයි.

අනෙක් කරුණ ලිංගිකත්වයයි. අද ලෝකයේ ලිංගිකත්වය පිළිබඳ උනන්දුවන රට ලෙස අංක එකට පත්වී ඇත්තේ ලංකාවයි. ගූගල් අන්තර්ජාල සමීක්ෂණ වාර්තා අනුව එය එසේ යැයි ප්‍රකාශ කෙරේ. එහෙත් ලංකාවේ කිසිවෙකු ලිංගික පීඩනයකින් පෙලෙන බවක් දක්නට නැත. නමුත් මානසිකව ලාංකිකයින් සිටින්නේ කොතැනද යන්න පිළිබඳව එම වාර්තා මගින් දැකගත හැකිය.

මෙයට ලිංගික අසහනය යැයි නම් කලද එම වචනයට එකඟ විය නොහැකිය. මන්ද යත්, මිනිසා යනු ලිංගික සත්වයෙකු නිසාය. ඒනෑම සත්වයෙකුට ලිංගික අවශ්‍යතාවය ඇතිවේ. එය සපුරාගත යුතුවේ. එය නොලැබී ගිය කල මානසිකව යම් අපහසුතාවයකට පත්වීමට සිදුවේ. මෙය ස්වභාවික සංසිද්ධියකි. එහෙත් අපේ රටේ සිටි කිසියම් පිරිසක් එය මහත් අපරාධයක් බඳු තත්වයකට පත්කොට ඇත. ලිංගිකත්වය නම් කාරණාව ප්‍රසිද්ධියේ කතා කිරීමට නොසුදුසු තරමට පත්කර ඇත. එය නපුංසකයින්ගේ ක්‍රියාවක් බව පෙනී යයි.

අද සමාජයේ ලිංගික අඩන්තේට්ටම් ඉතාමත් සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.  මෙයට ප්‍රධාන හේතුවක් වශයෙන් ලාංකීය සංස්කෘතිය බලපා ඇති බව පෙනී යන කරුණකි. පෙරකී සංකර සංස්කෘතියේ අතුරු ඵලයක් ලෙසින්ද මෙය හැඳින්වීමට හැකිය. බටහිර සතු අසීමිත නිදහස ඔවුන් ලිංගිකත්වය කෙරෙහිද යොදා ගත්තද එමගින් ලිංගික ප්‍රචණ්ඩත්වයක් පිළිබඳව අසන්නට ලැබෙන්නේ නැත. ඒ ඔවුන් එම විෂය ඉතාමත් විවෘතව කතාබහ කොට භාවිතයට ගන්නා නිසාය. එමගින් එකිනෙකාගේ අදහස් මෙන්ම සිතුම්පැතුම්, චර්යා රටාවන් හඳුනා ගැනීමේ ඉඩ ප්‍රස්ථාවද හිමිවෙයි.

නමුත්, ලංකාවේ එම නිදහස ඇත්තේම නැති තරමකි. එහෙයින් ලිංගිකත්වය පිලිබඳව ඇති උනන්දුව සිය දහස් ගණනින් ඉහල ගොස් ඇත. කාන්තාවක් නාන ඇඳුමින් සිටිම බටහිරට අරුමයන් නොවූවද, ලංකාවේ නම් කැලෑ පත්තර වැදීමට හෝ ඇය පිළිබඳව ඉතා පහත් සංකල්පයක් ගොඩ නැගීමට තරම් ප්‍රමාණවත්ය. ඒ එම විෂය ලංකාවට තවමත් ආගන්තුක නිසාය. හිරිකිත නිසාය.

එහෙත් මිනිස් හැගීම් එලෙසින්ම පැවතීම මෙම සංස්කෘතික කඩතුරාව ඇතුලේ විශාල පීඩනයක් නිර්මාණය කිරීමට ප්‍රමාණවත්ය. ප්‍රසිද්ධියේ තබා හොර රහසේවත් සිය ලිංගික අවශ්‍යයතාවයන්  සපුරා ගැනීමට නොහැකිව අසරණව සිටින පිරිස අති මහත්ය. එමගින් ඇතිවන මානසික ව්‍යකූලත්වය සුලුපටු නොවේ. එය පෙර කල සිටම පැවත ආ තත්වයක් නමුත් වර්තමානයේදී එය ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇත.

අතීතයේ මෙතරම් ලිංගික අවශ්‍යතාවයක් නොතිබූ බව ඇතැමෙක් පවසති. එහෙත් එම කතාව සත්‍යය නොවේ. අතීතයේද එම අවශ්‍යතාවය මෙලෙසින්ම තිබී ඇත. මෙකල මෙන් එදවසද සිය පියා හෝ මාමා අතින් දියණිවරු අපයෝජනයට ලක්වූහ. එහෙත් ඒවා සමාජය හමුවේ අනාවරණය නොවීය. මෙකල මෙන් මානව හා ළමා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කතිකාවතක් එකල නොවීය. විධිමත් මාධ්‍ය ජාලයක් නොවීය. ඒ සම්බන්ධව පැමිණිලිද නොවීය. එකලට අනුව එය එතරම්ම විෂේශ දෙයක් නොවූ බව දැකිය හැකිය. එහෙත් අද තත්වය ඊට හාත්පසින් වෙන්වී ඇත.

අද කාන්තා හා ළමා අපයෝජනයට දැඩි දඩුවම් පැමිණවීමට පියවර ගෙන ඇත. ස්ත්‍රී දූෂකයන් මරණ දණ්ඩනයට යටත් කිරීමට පියවර ගෙන ඇත. මාධ්‍ය මගින් ක්ෂණිකව සියලු සිදුවීම් සමාජගත කිරීමට හැකියාව ඇත. එහෙයින් පෙරට වඩා ලිංගික අපයෝජනයන් කිරීමට බියක් ඇතිවී ඇත. එහෙත් තත්වය පාලනය කිරීමක් එමගින් පෙනෙන්නට නැත. සිදුව ඇත්තේ ලිංගික ප්‍රචණ්ඩත්වය වර්ධනය වීම පමණකි.

බටහිරයන් සහ යුරෝපීයන් සිය ලිංගික අවශ්‍යතා විරුද්ධ පාර්ශ්වය වෙත සෘජුව ප්‍රකාශ කරයි. ඔවන්ගේ ප්‍රතිචාරයද අපේ රටට වඩා වෙනස් මුහුණුවරක් ගනී. බොහෝවිට එම ආරාධනයන්ට කැමති වී ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගනිති. නැතහොත් සුහදශීලී අයුරින් එම ඇරයුම ප්‍රතික්ෂේප කරති. නමුත් කිසිදු ගැටුමක් හෝ සිත් රිදීමත් එහි අන්තර්ගත නොවේ. එහෙත් ලංකාවේ එම තත්වය කෙසේද..?

ඕනෑම පිරිමියෙකුගේ සිතෙහි කාන්තාවන් පිලිබඳව ඇල්මක් සහ ලිංගිකව එකතු වීමේ හැඟීමක් ජනිත වේ. කාන්තාවන්ටද එය පොදුය. එය ස්වභාවයෙන් ලැබී ඇති තත්වයකි. එහෙත් ඒ පිළිබඳව තමන් සතු හැඟීම අනෙකා වෙත ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් ලංකාවේ නැත. ඒ පිළිබඳ ඉඟියක් හෝ ලැබුන සැනින් සිය හොඳම යෙහෙළියද වෛරක්කාරියක් බවට පත්වේ. නැතහොත් ඇනුම් බැනුම් නිමක් නැත. අප්‍රසිද්ධියේ ඇසූවද ප්‍රසිද්ධියේ සෙරෙප්පු පරහක් හෝ කම්මුල් පහරක් කෑමට සිදුවනු ඇත. මෙතරම්ම ලිංගිකත්වයට ලාංකිකයන් බියවී ඇත්තේය.

මුදලට සිය ශරීරය අලෙවි කරන කාන්තාවන් ඕනෑතරම් ලංකාවේද සිටිති. නමුත් ඔවුන් ගැනද ඇති ආකල්පයන් කිසි විටෙකත් සමාජය සුභවාදීව පිළිගැනීමට තරම් පෙළඹී නැත. එහෙයින් එම කාන්තාවගේ  සේවය පැතීමද සමාජයේ අවමානයට ලක්වීමට කරුණකි. මෙම තත්වයන් හමුවේ පීඩිතව සිටින මිනිසුන් වෙනුවෙන් කිසිදු අයුරක සහනදායි වැඩ පිළිවෙළක් මෙතෙක් නිර්මාණයවී නැත. සිදුවන එකම දෙය නම් ලිංගිකත්වය තව තවත් සැඟවීමට උත්සහ දැරීමයි.

ලාංකීය සංස්කෘතිය තුල විවිධ කෝණයන් ඔස්සේ සිරවී ඇති මිනිස් චිත්ත සන්තානය බාහිර ලෝකය හමුවේ පසුගාමී වීමට බොහෝ තත්වයන් බලපෑවද දැනට පෙනෙන්නට ඇති ප්‍රධාන ගැටලු නිරාකරණය කිරීමට තවමත් කිසිවෙකුට අවශ්‍යව නොමැති බව පෙනී යයි. වත්මන් තරුණ පරපුරද ඉබාගාතේ යන අයුරක් දක්නට ලැබේ. සිය ගෙදරදොර පරිසරයෙන් නොලැබෙන ලිංගික අධ්‍යාපනය නිසියාකාරයෙන් පාසලෙන්ද නොලැබේ. එහෙයින් අසන දකින තොරතුරු ඔස්සේ යමින් ඒවා අත්හදා බැලීමට පෙළඹීම මහත් කරදර ගොඩක පැටලීමට තරම් හේතුවේ.

අද සමාජයේ ලිංගිකත්වය පිළිබඳව නිසියාකාරයෙන් තොරතුරු ලබා ගැනීමට ක්‍රමවේදයක් නැත. එහෙත් දිනෙන් දින වැඩිවන අවශ්‍යතාවයද ඒ ආකාරයෙන්ම පවතී. සංස්කෘතිය යැයි පාරම් බාමින් මිනිස් හැඟීම් සිරගත කිරීම තුලින් ඇතිවී තිබෙන තත්වය පිළිබඳවද කිසිවකුගේ අවධානය යොමුවී නැත.

ලංකාවේ සංස්කෘතික අමාත්‍යාංශයක් පවතී. එහෙත් එමගින් රැකෙන සංස්කෘතියක් ගැනද පෙනෙන්නට නැත. දේශපාලකයින්ට ඕනෑ ආකාරයේ විගඩමක් නැටීමට අවසර ලබාදෙන එම අමාත්‍යාංශය නිසියාකාරයෙන් රටේ පවතින සංස්කෘතික ව්‍යයසනයට පිළියම් යෙදීමට ගත් පියවරක් පෙනෙන්නට නැත. ලෝකයේ ලිංගිකත්වය ගැන සොයන රටවල් අතරින් අංක එකට ලංකාව පත්වීමට හේතු සොයා බැලිය යුතුය. බොහෝ දෙනා එය අසහන කාරයෝ යැයි ලේබල් ගසා අවඥාවෙන් බැහැර කරති. එහෙත් තත්වය ඊට වඩා වෙනස්ය.

තාක්ෂණය දියුණු වීමත් සමග අන්තර්ජාලයේ සැරිසරන ප්‍රමාණයද වැඩිවී ඇත. ඊට සාපේක්ෂව බොහෝ දේ දැක බලා ගැනීමට අද අවස්තාව උදාවී ඇත. ලිංගිකත්වය යන පොදු මෙන්ම ප්‍රමුඛ කාරණාවද ඒ අතරින් උච්ච ස්ථානයේ තවමත් ඇත. එහෙයින් ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ ලිංගික ක්‍රියාකාරකම් සහ විස්තර ලබා ගැනීමට පහසුවෙන් හැකිය.  එමගින් ලිංගික ප්‍රචණ්ඩත්වය වර්ධනය වෙතැයි අපේ රටේ පාලකයින් සිතන්නට ඇත. එහෙයින්  අපේ රටේ පාලකයින් කලේ එම අවස්ථාවත් අහුරා දැමීමය

නමුත් ප්‍රශ්නය විසඳී නැත. සියලු මාර්ග අවහිර කිරීමට සාපේක්ෂව ඒ ගැන සොයා බැලීම වැඩිවී ඇත. මෙමගින් ලිංගික අසහනය තව තවත් තීව්‍ර කිරීමට සමත් වේ. එහෙයින් පෙර නොවූ විරූ ලිංගික ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය වේ. ඒ තත්වය හමුවේ අයියා නංගී නොහඳුනති. පියා දියණිය නොහඳුනති. කාන්තාවකට නිදහසේ ගමනක් බිමනක් යෑමට නොහැකිය. මෙයට වග කිව යුත්තේ මිනිසුන් පමණක් නොවේ.

ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝපට සහ අන්තර්ජාල වෙබ් අඩවි තහනම් වූවත්, කාන්තාවගේ හැසිරීම් සහ විලාසිතාවල අඩුවක් දක්නට නැත. කාන්තාවගේ ඇඳුම එන්න එන්නම කොට වේ. ලිංගික හැඟීම් පුබුදුවන අන්දමේ කාන්තා විලාසිතා දවසින් දවස වැඩිවේ. එහෙත් සංස්කෘතිය මර නින්දේය. බාගයකටත් වඩා ශරීරය පෙනෙන ලෙස කාන්තාවන්ට ඇඳුම් ඇඳීමේ වරදක් නැතත් ඒ තුලින් පිරිමින් තුල ඇතිවන ආශාවන් සහ හැඟීම් බරපතල විවේචනයන්ට ලක්වේ.

සංස්කෘතිය කාලානුරූපීව යාවත්කාලීන විය යුතුය. නිවැරදි මෙන්ම  ප්‍රමාණවත් ලිංගික අධ්‍යාපනයක් ලබාදිය යුතුය. නිදහසේ ලිංගිකත්වය කතාබහ කර ප්‍රශ්න විසඳා ගැනීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කල යුතුය. ඉදිරියේදී ලාංකීය සංස්කෘතිය ආරක්ෂාවන බවක් පෙනෙන්නට නැත. එසේ ආරක්ෂා කලා කියා ඇතිවන සෙතක්ද නැත. එකම දේ මිනිස් හැඟීම් සහ අවශ්‍යතා සිරවීම සහ ඒ තුලින්  ප්‍රචණ්ඩත්වය ඇතිවීම පමණකි.

තත්වය එසේ හෙයින් වෙබ් අඩවි තහනම් කර ඵලක් නැත. නපුංසක පරිපාලනයේ ඇති දුර්වලතා නිසා තව තවත් ලාංකීය ජන සමාජය පීඩාකාරී මානසිකත්වයක හිඳිනු ඇත. එය එසේ විය යුතු නැත. නිවැරදි මග පෙන්වීමක් සහ උපදේශනයක් සෑම පුද්ගලයෙකුටම අවශ්‍යව ඇත. ඒ සඳහා ලංකාවේ දැනට සිටින යල් පැනගිය උපදේශක වරුන් සුදුසු වන්නේ නැත. ඒ ඔවුන්ගේ තකතීරු උපදෙස් මත දැන් යන තත්වය නිර්මාණය වී ඇති නිසාය.

කලයුතු වන්නේ ලංකාවේ මිනිසුන්ගේ මනසට කතා කිරීමයි. නිවැරදි උපදේශනයයි. එසේ ලබා ගන්නා අවබෝධය තුලින් බාහිර ලෝකය සමග ගනුදෙනු කිරීමයි. විකාර රූපී සංස්කෘතියක ගිලී සිටීමෙන් ඇතිවන යහපතක් නැත. එය නවීණ ලෝකය හා ගලපා ගත යුතුය. ලංකාවේ සාමාන්‍ය ජනතාව සංස්කෘතියක් බඳාගෙන සිටින අතර තුර පාලකයින් ඒ වැට කඩොලු පැන බොහෝ දුර ගොස් හමාරය.

_______ විකී_______

Advertisements

පොන්න කම සහ සෙක්ස් භීතිකාව


    1525325_10202010035466661_1515478224_n           

  මිනිසා කියන්නෙ ලිංගික සත්වයෙක්. ලිංගිකත්වය කොයි සුචරිතවාදියටත් අවශ්‍යයි. යුරෝපීය හෝ බටහිර රටක කාන්තවකට Hi Sexy .. කියලා කතා කලාට කිසි අවුලක් නෑ. මොකද එයාලට ඒක ගාණක් නෑ. ඒත් අපේ රටේ කාන්තාවකට ඒක කියලා බලන්න මොකද වෙන්නෙ කියලා…. 

ඒකට හේතු කීපයක්ම තියෙනවා..
අපේ රටේ ලිංගිකත්වය සීමා වෙන්නෙ හුදෙක්ම නපුංසක චරිත නිසා. ලිංගිකත්වය ඕපන් කතා කරන කෙනා ස්ත්‍රී දූෂණ කරන්න යන්නෑ. ඒවා ගොඩක්ම වෙන්නෙ කිසිම ලිංගික අවශ්‍යතාවයක් සපුරා ගැනීමට නොහැකිවූ අයගෙන්. 

අපේ රටේ ලිංගිකත්වය කියන්නෙ මහ කුජීත බරපතල අපරාධයක් හා සමානයි. ඒකම තමයි අපේ රටට මෙහෙම වෙන්න හේතුව. ගමේ අය ගූගල් එකේ සෙක්ස් සර්ච් කරන්න යන්නෑ. පහසුකම් අවම නිසා සහ දැනුම සීමා සහිත නිසා. ගොඩක්ම සෙක්ස් සර්ච් වෙන්නෙ දියුණු නගර වල තමයි. ඒකෙන් කියවෙන්නෑ සෙක්ස් අවශ්‍යතාවය නගරයට සාපේක්ෂව ගමේ අඩුයි කියලා. දෙපැත්තෙම අවශ්‍යතා සමානයි.

අද මිනිසුන් අතර අවබෝධය නෑ. සෙක්ස් ගැන කතා කරන්නෑ.. ඉතින් කොහෙන්ද දැනුමක්..? එකම විකල්පය කාටත් හොරා ගූගල් සර්ච් කරන එක. ඒකත් වැහුවම මොකද කරන්නෙ…? හොයනවා වැඩියි. අද නිත්‍යානුකූලව කසාද බඳින දෙන්නෙක් අතර පවා සෙක්ස් ගැන කතා වෙනවා අඩුයි. ඒ තරමට මේක භීතිකාවක් වෙලා. 

අනික ඔය අසහන කාරයො කියන වචනය.. මොකක්ද අසහනය කියන්නෙ? ලිංගික සත්වයො හැමෝම අසහනකාරයො තමයි. එකම දේ ලැබෙන විදිය වෙනස්. කසාද බැඳලා ඒ දෙන්නා අතර ඕනම දෙයක් කරන්න හොඳයි වගේම තමයි කසාඳ නොබැඳපු අයටත් ඒකෙ තහනමක් නෑ. තහනම් කරන්නත් බෑ. ඒක මිනිස් අවශ්‍යයතාවයක්. 

කසාද බැඳලා සෙක්ස් කරන කෙනා පට්ට වෙන්නත්, නොබැඳ සෙක්ස් හොයන කෙනා අසහනකාරයෙක් වෙන්නත් විදියක් නෑ. ඒ තත්වය ඇති කලේ සමාජය විසින්මයි. සංස්කෘතිය කියන විකාරය ඇතුලෙ හැඟීම් හිරවෙලා. ඒවා හැමදාම හිරවෙන්නෑ. පුපුරලා යනවා කොයි මොහොතක හරි.

ඔය පට්ට ටෝක් දෙන අය ලිංගිකත්වය කියන්නෙ මොකක්ද කියලාවත් දන්නෑ. එයාලා දන්න එකම දේ තමයි අපේ රටේ සෙක්ස් කියන්නෙ කුජීත දෙයක්… ඒනිසා ඒ ගැන කතා නොකර තමන් ඒවට නෑ කියලා පෙන්නන්න දඟලන එකයි. නමුත්, හරියට බැලුවොත්… ඒ පොන්නයො.

කලයුත්තේ සංස්කෘතිය කියන කඩතුරාව ඇතුලේ වුනත්, අවශ්‍ය නිදහස, දැනුම වගේම අවබෝධයත් ලබා දීමයි. වෙබ් සයිට් තහනම් කිරීම හරියට අතීසාරෙට අමුඩෙ ගහනවා වගේ වැඩක්.

– විකී-