පොලීසිය සහ පොලිස් නීතිය..


“බලන්න අර දැන්වීම.”

මම පිටුපස හැරී දොරේ අලවා තිබූ දැන්වීම කියවීමි. රියදුරු බලපත්‍ර ගැනීම සඳහා සවස 4 ට පෙර පැමිණෙන ලෙස එහි සඳහන්ව තිබිණ.

 ” ඔව් ඉතින් මම දැන් ඇවිත් පැයකටත් වඩා වැඩියිනෙ.”

 ” ඇයි කවුරුවත් හිටියෙ නැද්ද,..?”

 ” නෑ…….. “

මම රාගම පොලීසියට පැමිණියේ සවස 2.45 ට පමණය. එහෙත් පොලීසියේ කිසිවකු පැයක් ඉක්ම යන තෙක්ම රථවාහන කාර්යාලයේ සිටියේ නැත. මගේ ප්‍රකාශයෙන් කිසිවක් නොකියූ රාගම පොලීසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් බෝපගේ මහතා දිගටම මොනවාදෝ ලියාගෙන යයි.

 “මේකට නම් මොකුත්ම කරන්න බෑ. කෙලින්ම උසාවි තමා.”

 බෝපගේ මහතා තදින්ම කියා සිටී.

 “ඒත් මහත්තයෝ මම කිව්වනේ ඔයාට මගේ බයික් එකේ පොත හෙට හම්බ වෙනවා මම හදාගෙන පෙන්නන්නම් කියලා. ඔයා කිව්වනේ හදාගෙන එන්න කියලා.. ඇයි දැන් බෑ කියන්නෙ…?”

මමත් ඇහුවා එතුමා එහෙම කලින් දවසේ ලියද්දි කියපු නිසා. පොත අතට ලැබිච්ච ගමන්ම පොලීසියට ගියේ ඒ නිසාමයි.

 “මට පෙන්නලා වැඩක් තියෙනවද..? ඒක පෙන්නන්න උසාවියේදි නඩුකාර තුමාට.. “

එසේ කියන අතරේ බෝපගේ මහතා සිය සටහන් පොතේ කිසිවක් ලියාගෙන යන්නේ  තව මිනිත්තු කිහිපයකින් ලෝක විනාශයක් සිදුවේ යැයි බියෙන් මෙනි. මමද පසෙක හිඳ ටික වේලාවක් බලා සිටියෙමි.

 “කෝ බලන්න…. ආ.. මේකෙ ලොකු මහත්තයා ලියලනේ උසාවි දාන්න කියලා… මටනම් මොනවත් කරන්න බෑ. දන්නවනේ නීතිය..

එසේ කියා දිගටම ලියාගෙන යයි. පසුව නැවතත් ලියන ගමන්ම……

 “හ්ම් හ්ම්… හෙට උදේ එන්නකො බලන්න.. හරියට 9 වෙද්දි එන්න.”

 “එතකොට හදාගන්න පුලුවන්ද..? “

 ” හරි මම මොනවා හරි කරලා දෙන්නම්.. එන්නකො..”

 මම අද උදේ පාන්දරම පිටත් වුනෙමි.. හරියටම 9 වෙද්දි මම පොලිසියේ රථවාහන අංශයේ පෙනී සිටියෙමි.

 “මේ… බෝපගේ මහත්තයා ඉන්නවද..?”

රථවාහන අංශයේ කිසිවකු පෙනෙන්නට නැති තැන මම අසල සිටි පොලිස් සාජන් වරයෙකුගෙන් විමසුවෙමි.

 “ආ… ඉන්නවා. ක්ලාස් එකේ. 10.30 න් පස්සෙ එන්න..”

 පැය එකහමාරක් තව ඇත. කරන්නටද දෙයක් නැති නැති මා සුළු පැමිණිළි අංශයේ අසුන්ගෙන සිටියෙමි. පැය බාගයක් පමණ ගතවිය.  එක්වරම පොලීසියේ ගේට්ටුව අසල කලබලකි. තරුණ ජෝඩුවක් තවත් ඉලන්දාරියෙකුගේ බෙල්ලෙන් අල්ලාගෙන පොලිසියට රැගෙන ආවෝය. පොලීසියේ සිටි සිවිල් ටීෂර්ටයක් සහ කලිසමකින් සැරසී සිටි පුද්ගලයෙක්  වහා එතැනට ගොස් අර ඉලන්දාරියාගේ බෙල්ලෙන් අල්ලා පොලීසිය තුලට රැගෙන ගියේය.

 කසුකුසුවේ හැටියට එම ඉලන්දාරියා අර තරුණ ජෝඩුවගේ මුදල් පසුම්බිය සොරාගෙන ඇත. ඔහු පොලීසිය තුල රඳවා පෙරකී පුද්ගලයා එළියට ඇවිත් තවත් කෙනෙකු සමග කතාවක යෙදී සිටියේය. මිනිත්තු කිහිපයක් ගත විය. එක් වරම පොලීසිය තුල සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියක් කලබලයෙන් එලියට පැන ආවාය.

 ” මේ…අර කොල්ලා කෝ… මිනිහා නෑනේ.”

 ” හුටා..”

සිවිල් ඇඳුමින් සිටි පුද්ගලයාගේ මුවින් පිටවිය. ඔහු වහා මෝටර් සයිකලයක නැගී එළියට ගියේය. එම කසුකුසුවේ හැටියට කලින් අල්ලාගෙන ආ මුදල් පසුම්බි හොරා පොලීසියෙන් පැන ගොස් ඇත. දැන් කඩි ගුලක් සේ ඇවිස්සුන පොලිස් නිළධාරීන් හොරා සොයා දස අතේ දිවයයි. සොරා අතුරුදන්වී ඇත.

 හොරා ප්‍රධාන ගේට්ටුවෙන් නොගිය බව මම දනිමි. මන්ද යත්, ඔහු එසේ එතැනින් පැන ගියානම් යායුත්තේ මා අසුන්ගෙන සිටි තැනට පෙනෙන දුරිනි. එහෙත් පොලීසිය දෙසම බලා සිටි මා සොරා ඇතුලට ගෙන යනු මිසක් එළියට එනු නොදුටුවෙමි. තවත් පැත්තකින් පොලීසියේ තාප්පයද මට පෙනේ. එහෙත් ඒ දෙසින්ද කිසිවකු නොගිය බව මට විශ්වාසය. නමුත්, සොරා අතුරුදන්වී ඇත. පැය බාගයක් පමණ සෙව්වද සොරා සොයාගත නොහැකි විය.

 එම සන්දර්ශනය නරඹමින් සිට දැන් වේලාව 10. 30 පමණ වී ඇත. මා නැවත රථවාහන අංශයට ඇතුලු වුනෙමි. එහෙත් බෝපගේ මහතා නැත. තවත් විනාඩි කිහිපයකින් ඔහු පැමිණියේය.

 “මහත්තයා.. අර මගේ වැඩේ කරගන්න පුලුවන්ද..?”

 “කෝ.. මොකක්ද…. ආ.. මේක කරන්න බෑනෙ. මේක උසාවි දාලා තියෙන්නෙ.”

 ” ඉතින් ඔයා මට කිව්වනේ අද උදේ එන්න කියලා. කරලා දෙන්නම් කිව්වනේ.”

 ” ඔව් ඒත් කරන්න බෑනෙ.. එන්නකො මෙහෙට”

කියමින් ඔහු මාවත් සමග එළියට ආවේය.

 ” මේකයි සීන් එක.. මේකට දඩ දෙන්නෑ. කෙලින්ම ලියන්නෙ උසාවි. මහත්තයත් ඉන්නවා. එයාටත් මොනවත්ම කරන්න බෑ.. උසාවියෙන්ම තමයි තීරණයක් දෙන්නෙ… මේකට මොනවත්ම කරන්න බැරි වෙයි.”

 “ඉතින් නඩුවක් වෙනුවට දඩයක් ලියන්න පුලුවන් නේ..”

මමත් ඇරියේ නැත.

 ” ඔව් එහෙම ලිව්වට මේ කේස් එකට බෑ. මම කියන්නද… නඩු දැම්මොත් මේකට රුපියල් 5000 ක් දඩ ගහනවා ෂුවර් එකටම. මගේ බිලක් තියෙනවා රුපියල් 1,500 ක. ඒක ගෙවන්න පුලුවන් නම් මොනාහරි කරලා දෙන්නම්… උදව්වක් හැටියට.”

බෝපගේ මහතා කියා සිටී. ලොකු මහත්තයට වත් මොනවත්ම කරන්න බැරි වැඩේ රුපියල් 1500 ක් ගෙව්වම කරන්නේ කොහොමද කියා මම කල්පනා කලෙමි.

 “ඒත්… දැන් මගේ අතේ සල්ලි නෑනෙ. දඩයක් ලියලා මොනවත් කරන්න බැරිද.,? “

 ” පිස්සුද… 5000 ක වැඩේ ෂේප් කරන්න ගියාමත් බැරිනම් නිකං ඉන්නවා.”

 “බෝපගේ මහතාට කේනිත් ගියාය. ඔහු “කරන්න දෙයක් නෑ” කියමින් නැවතත් රථවාහන අංශයට ඇතුලු විය. නැවතත් පැමිණ..

 ” 1,300 ක් දෙන්න. වැඩේ කරලා දෙන්නම්. වෙන කරන්න දෙයක් නෑ. මම එළියට ගිහින් තව ටිකකින් එනවා.”

 බෝපගේ මහතා පිටවී ගියේය. කුමක් කරම්දැයි මා කල්පනා කලෙමි. 1919 අංකයට ඇමතුමක් ලබා ගත් මම විස්තරය කියා මා කුමක් කල යුතුදැයි විමසීමි. එහි ඇමතූ නිළධාරියා මට දුරකත අංකයක් ලබාදී උපදෙස් ගන්නා ලෙස දැන්වීය. එම අංකය කොළඹ කොට්ඨාශ රථවාහන අංශය විය.

 ” කවුද කියන්නෙ එහෙම බෑ කියලා.. දඩයක් ලියවගන්න පුලුවන්. ඊටත් වඩා ඔයා දැන් ලියකියවිලි සම්පූර්ණ කරලා නම් ඒක පෙන්නලා ලයිසන් එක ගන්න පුලුවන්. ඔයා කතා කරන්න පොලිස් ස්ථානාධිපති තුමාට.”

 එම නිළධාරියා පැවසූ පරිදි මම පොලිස් ස්ථානාධිපතිවරයා හමුවීමි. විස්තරය පැවසූ පසු ඔහු රථවාහන ස්ථානාධිපතිවරයා කැඳවා විමසා සිටියේ මෙයට කුමක් කල යුතුද කියාය. රථවාහන ස්ථානාධිපතිවරයා පවසා සිටියේ කිසිවක් කල නොහැකි බවයි. එහෙයින් පොලිස් ස්ථානාධිපතිවරයාද කිසිවක් කිරීමට නොහැකි බව දන්වා සිටියේය. නැවතත් මා කොළඹ කොට්ඨාශ රථවාහන අංශය ඇමතීමි.

 ” ඇයි එහෙම බෑ කියන්නෙ.. අපිනම් එහෙම හදලා දෙනවා. හැබැයි ඉතින් ඔය ඉන්න අයගෙ හැටියට තමයි ඕක කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් නම් උසාවි ලිව්වට ලියකියවිලි සම්පූර්ණ කලාම ඒක ලිහිල් කරලා දෙනවා. ඔයා මේ අංකයට ඇමතුමක් අරන් බලන්න. මේක රථවාහන මූලස්ථානයේ අංකය.”

 මම එම නිළධාරියා ලබාදුන් අංකය ඇමතීමි. ඔවුගේ අදහස සහ පෙරකී අදහස අතර ලොකු වෙනසක් නැත. එහෙයින් කිසිවක් කිරීමට නොහැකි බව වටහාගත් මම නැවතත් බෝපගේ මහතා පැමිණ ඇත්දැයි බැලීමට රථවාහන අංශයට ඇතුලු වීමි. එහෙත් බෝපගේ මහතා පෙනෙන්නට නැත. වීදුරු කවුලුවෙන් මා දුටු රථවාහන ස්ථානාධිපතිවරයා……

 ” ආ.. මෙහෙ එන්න. කෝ දෙන්න ඕක. මේක අනිවාරෙන්ම උසාවි දානවා. මේ.. මේකෙ අංකය විස්තර ලියාගන්න. 16 වෙනිදා උසාවි දාන්න..”

 කියමින් රථවාහන ස්ථානාධිපතිවරයා මා අත තිබූ නියෝග පත්‍රය ගෙන වෙනත් රාළහාමි කෙනෙකුට දුන්නේය. රථවාහන ස්ථානාධිපතිවරයාට කේන්ති ගොස් ඇත. ඒ මා පොලිස් ස්ථානාධිපතිවරයා මුණගැසුනු නිසාය. මම නොකර සද්ද බලාගෙන සිටියෙමි.

 ” මේක උසාවි දානවාමයි. කොහේද ගම. මොනවද කරන්නෙ..?”

ඔහු ලියන ගමන් මගෙන් විමසීය.  මම ත්‍රිකුණාමලයේ බවත්, ජනමාධ්‍යයක වාර්තාකරුවකු බවත් මම  කීවෙමි.

 ” ත්‍රිකුණාමලේ…? මීඩියා…??  .. හ්ම්.. දුර කෙනෙක් නිසා උදව්වක් කරන්නම්.”

රථවාහන ස්ථානාධිපතිවරයාගේ කේන්තිය නිවී ගියේය. ඔහු රතු පෑන ගෙන නියෝග පත්‍රය මත සටහනක් තැබීය.

 ” මේක අර රාළහාමිට දීලා ලයිසන් එක අරගෙන යන්න.”

කිසිදු දඩුවමක් හෝ දඩ මුදලකින් තොරව ඔහු මට රියදුරු බලපත්‍රය ලබා දීමට කැමැත්ත පළකර සිටියේය. මම ඔහුට ස්තුති කර එහි සිටි රාළහාමිට නියෝග පත්‍රය ලබාදී මාගේ රියදුරු බලපත්‍රය ලබා ගතිමි.

 මම රථවාහන අංශයෙන් එළියට බහිනවාත් සමගම රුපියල් 1,300 ලබා ගැනීමට පැමිණෙන බෝපගේ මහතාද එම දොරෙන් ඇතුලු වූවත්, ඔහු වෙනත් කල්පනාවක සිටියෙන් මා දුටුවේ නැත. මම නැවතත් විපරම් කර කලින් සිදුවීමට අදාල හොරා අල්ලාගෙන ඇත්දැයි බැලීමි. එහෙත් හොරා ගැන හෝඩුවාවක් වත් නැත.

 -විකී-

ජනාධිපති මාර ලොකුයි..


        අපේ හුදී ජනයා හිතන් ඉන්නෙ ජනාධිපති කියන්නෙ මාර ලොකු කෙනෙක් විදියට. ලොකුයි තමයි…. හැබැයි එතුමගෙ නිලය. එහෙම නැතුව මහින්ද රාජපක්ෂ කියන්නෙ මාර ලොකු කෙනෙක් නෙවෙයි. හැම මනුස්සයම කරන දේ කරපු, දකින දේ දැකපු, දැනෙන දේ දැනෙ සාමාන්‍ය මනුස්සයෙක්.

මහින්ද රාජපක්ෂ පොඩි එකෙක් වඩා ගත්තොත් ඒක මාර ලොකුයි. මිනිස්සුන්ට විතරක් නෙවෙයි.. මහින්දටත් ඒක මාර ලොකුයි.

මහින්ද ගෝල්ෆේස් එකේ ව්‍යායාම කලොත් ඒක මිනිස්සුන්ට මාර ලොකුයි.. ඒ විතරක් නෙවෙයි.. මහින්දටත් ඒක මාර ලොකුයි.

වැඩියෙන්ම අපේ හුදී ජනතාව වෙච්චි කුක්කු බබාලාට එතුමා පෙන්නනවා තමන් මාර ලොකුයි කියලා.

කුක්කු බබා ජනතාවත් ඒක මාර ලොකු විදියට හිතනවා..දකිනවා. එහෙම හිතුවට දැක්කට කමක් නෑ, එතුමා ලංකාවේ තබා මේ ලෝකෙවත් නොඉපිද පිට සක්වලින් මෙහාට සැපත් වෙලා ජනාධිපති වුනානම්.. අන්න ඒක නම් මාර ලොකුයි තමයි.

දැන් මේ මහින්ද රාජපක්ෂ නම් ජනාධිපතිවරයා යාල වනෝද්‍යානයේ සංචාරයක ගිහින් ඉන්න ගමන් එතුමා කැමරාවකින් පින්තූර ගන්නවා….. දැන් ඒක මාර ලොකුයි. සුදත් සිල්වටත් ඒක මාර ලොකුයි. අපේ හුදී ජනතාව වෙච්චි කුක්කු බබාලට මාරම ලොකුයි. ජනතාව බලන්නෙ හරියට නිකං මහින්ද රාජපක්ෂ ජීවිතේට කැමරාවකින් පින්තූර අරගෙන නැති ගාණට. හරියට නිකං චූටි ජපන් බබෙක් සිංහලෙන් කතා කරනකොට ආසාවෙන් පුදුමයෙන් බලන් ඉන්නවා වගේ.

ජනාධිපතිවරයෙක් කියන්නෙ මාර පොරක් කියලා හිතෙන අපේ හුදී ජනතා බබාලට එතුමා කරන කොයි දේත් මාර ලොකුයි. එතුමාත් දන්නවා ශිල්ප දක්වලා හුදී ජනතාව සතුටු කරන විදිය. මහින්ද රාජපක්ෂ යන යන තැන ඇහැ ගහගෙන එතුමාගෙ ඕනම ගොංපාට් පින්තූරයක් මාර ලොකුවට දකින්නෙ හරියට නිකං ජනාධිපති තුමා පිට සක්වලින් මෙහෙට ඇවිත් දැන් මේ සේරම ඉගෙන ගන්නවා වගේ..

එක අතකින් බලද්දි මේ වගේ රූකඩ රාජ්ජයක් පාලනය කරන එක ගේමක් නෑ. මොකද තමන්ට අවශ්‍ය විදියට නටවන්න පුලුවන් සහ මහින්දට පඩයක් ගියත් උඩ පැනලා ප්‍රීතිඝෝෂා පවත්වන හුදී ජනතාවක් ඉන්න රටක් කියන්නෙ මාරම මාරයි තමයි….

-විකී-