එකෝමත් එක කාලෙක…


වසර 7250 වර්ෂයේ එක් හිමිදිරි උදෑසනකි. ලංකාද්වීපය නම් දූපතක මොනරාගල ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක ජීවත්වන සීයා කෙනෙකු සහ මුනුබුරෙකු සිය ගව රැළ දක්කාගෙන ගොස් තෙහෙට්ටුව නිවා ගැනීම සඳහා අසල වූ ගල් තලාවක හිඳ ගත්තා. සිය ලබු කැටයේ දමාගෙන ආ වතුර උගුරකින් තොලකට තෙමා ගන්නා සීයා දෙස මද වේලාවක් බලා සිටි මුනුබුරා සිය හඩ අවධි කලා..

 

“සීයේ.. ඇයි සීයේ අපි මෙච්චර දුප්පත්??”

එම පැනයෙක් වික්ෂිප්ත වූ සීයා මදක් ඔවු දෙස බලා සිට ඈත පෙනෙන කඳු වලල්ල දෙස නෙත් යොමා ගත්තා.

 

” හ්ම්.. ඒකට නම් හේතුව මම දන්නෑ කොලුවෝ… හැබැයි අතීතයේ වෙච්ච වැරදි නිසා තමයි තාමත් අපි දුක් විඳින්නෙ..”

” අතීතය කිව්වෙ..? කොයි කාලෙද සීයේ?”

 

කොලුවාගෙන් බේරිල්ලක් නැති බට දුටු සීයා හරිබරි ගැසී විශාල ගලකට පිටදී කතාව ආරම්භ කලා.

 

“අතීතයේ කිව්වේ කොලුවෝ මීට අවුරුදු තුන් හාර දාහකට කලින්. මේ අපි ලෝකෙ තනි වෙච්ච දූපත් වැසියො ටිකක් නෙවැ. ඒත් ඉතින් ඒ කාලෙ හිටපු රජවරු සහ මැති ඇමතිවරු නම් එහෙම නෑ. ඒ උත්තමයො දේස දීපංකර වල ගොහින් ලෝකෙ දැකලා, ලෝකෙ උලා කාලා අපේ රටේ එවුන්ට මේක හද්ද පිටිසර දූපතක්ය කියලා ඒත්තු ගැන්නුවා.”

 

“ඒ කියන්නෙ ඒ කාලෙ හිටපු රජ මැතිවරු සැප වින්දා. මිනිස්සු දුක් වින්දා?”

 

” ඒක එහෙම්මමයි කියලාත් කියන්න බෑ. ඒ කාලෙ හිටපු මිනිස්සු කොච්චර දුක් වින්දත්, ඒ දුකත් සැපක්ය කියලා ආතල් ගත්තලුනේ.”

” මට තේරුන්නෑ… ඒ කිව්වෙ සීයෙ?”

 

කොලුවා මඤ්ඥං වෙලා සීයනේ ඇහුවා. සීයා බුලත් විටක් ගෙන හක්කේ තබා හොඳහැටි හපන්නට පටන් ගත්තා. ඒ දෙස බලා සිටි කොලුවා එහෙමම සිටියේ සීයා  ටිකකින් කතාව පටන් ගන්නා බවක් පේන්න තිබුන නිසා. සීයා තොල් දෙක මැද්දට ඇඟිල්ල තබා කෙල පහරක් ගල් තලාවෙන් පහලට විද්දා. ඉන්පසු කොලුවා දෙස බැලුවා.

 

” උඹට මේවා කොහොම තේරෙයිද මන් දන්නෑ බොල.. ඒත් උඹ අහන නිසා මම කියඤ්ඤං…. ඒකියන්නෙ කොලුවෝ… ඒ කාලෙ සැරින් සැරේ රජ වෙච්ච රජවරු මේ රට එක එක විජ්ජුම්බර පෙන්නන පිචැර් හෝල් එකක් වගේ කොලා කියනවනේ. අපේ මුතුන් මිත්තො කියන විදියට නම්, ඒ කාලේ මේ රටේ මහා භයානක යුද්දයක් තිබිලා තියෙනවා. අවුරුදු 30 ක් විතර ඒ යුද්දේ තිබුනලු.”

 

” ඉතින් සීයේ… අවුරුදු තිහක්ම යුද්දෙ තිබ්බෙ කොහොමද? මෙච්චර පුංචි රටක මහ ලොකු ත්‍රස්තවාදියො පිරිසක් ඉන්න නැතුව ඇතිනේ”

 

” ඒකනම් ඉතින් එහෙම තමයි. ඒත් ඉතින් පුරාණ පුස්කොල පොත් වලයි, ඉන්ටර්නැට් එකෙයි, ඔය තැන් තැන් වල හිටෝලා තිබ්බ ඩිජිටල් ප්‍රින්ට් වලින් ගහපු සෙල් ලිපි වලයි තිබ්බ විදියට ඒක මහා බයානක යුද්දයක්ලු. උන්ට කියලා තියෙන්නෙ කොටි කියලා. ඒ වුනාට අපේ ආතාලා කියන විදියට නම් ඒක ඒ තරම්මත් නෑලු. ඒ කාලේ හිටිය රජවරු සැරින් සැරේ කොටින්ට කඩේ ගියාය ගියනවනේ.”

 

“කඩේ ගියා කිව්වෙ සීයේ?? හාල් පොල් එහෙම ගේන්න වෙන්ටෑ”

” හාල් පොල් නෙවෙයි බූරු පැටියෝ….. ඒ කියන්නෙ උන්ට උදවු කරාලු.. යුද්දේ වවාගෙන කෑවලු.”

” අම්මපා…. යකෝ උන්ව හම ගහන්න එපැයි. ඉතින් සීයේ තමන්ගෙ රටේ මිනිස්සු මැරෙද්දි, රටට හානියක් වෙද්දි, කොහොමද අපේ රජවරුයි මැති ඇමතියොයි කොටින්ටම උදවු කලේ?” කොලුවා මඤ්ඥං වෙලා එක්වරම හිටගත්තා. සීයා කොලුවාගේ සරමෙන් අල්ලා යලිත් වාඩි කලා.

 

“මෙහෙමනේ බං,. ඒ කාලේ කොටි ඉඳලා තියෙන්නෙ හතර පස් දෙනෙක්.”

“පුහ්… හනේ අම්මේ.. මේ කොටි හතර පස් දෙනෙක් මරා ගන්න බැරුවද මේ දගලලා තියෙන්නෙ..?” කොලුවා අතින් කට වසාගෙන හිනා වෙන්න ගත්තා. ඌරු ජුවල් ගිය සීයා කොලුවට ටොක්කක් ඇන්නා.

 

” හිටහංකෝ කියනකං… හතර පස් දෙනෙක් හිටියෙ මුලින්ම. ඒ කාලෙ උන්ට ගේම දෙන්න ඕන හැටියෙ ඉඩ තිබ්බලු. ඒත් ඒ කාලේ එක එක දේසපාලන උවමනාවන්ට උන්ට ගේම නොදී තව තව උන් පෝම් වෙනකං හිටියලු. ”

 

“තූ.. නෙදකිං. මහ පකින්තුවො ටිකක්නෙ ඒ කාලෙ රට පාලනය කරලා තියෙන්නෙ..” කොලුවට මල පැනලා කියවාගෙන ගියා.

 

” හිටිංකො කියනකං…. කොහොමහරි ඔය විදියට එක එක රජවරු කොටින්ට කිරි පොවලා ලොකු මහත් කරාය කියනවනේ.”

” එතකොට සීයේ ඒ කාලේ රටේ හිටපු හමුදාව මොකද කලේ? පොල් ගෑවද?”

” හා.. හා.. එහෙම කියන්න එපා. ඒ කාලේ අපේ වීරෝදාර රණ විරුවො දිවි පරදුවට තියලා කොටින්ට කෙලවන්න හැදුවලු.”

“ඉතින්..?”

” ඉතින්.. මොන……. වැඩක් වෙලා නෑ. ලොකු ලොකු එවුන් කරලා තියෙන්නෙ කොටින්ට කෙලින්න පැලෑන් ගහපු හමුදාවෙ ලොක්කන්ට කෙලවපු එකලු.”

” අම්මපා සීයේ… මහ කුප්ප වැඩක්නේ ඒක”

” ඔව් ඉතින්… ඒත් ඉතින් මොනවා කරන්නද කොලුවෝ… ඒවා යටිකූට්ටු වැඩ වලින්නෙ කරලා තියෙන්නෙ. කාටවත් අල්ලන්න බැරි වුනාලු. දන්න අයත් හිටියලු. ඒත් ඉතින් සුදු වෑන් වලට බයේ නිකං හිටියලුනේ..”

 

” මොකක්ද සීයේ සුදු වෑන් සීන් එක??”

” සුදු වෑන් කියන්නේ…. ඒ කාලේ ආණ්ඩුවට විරුද්දව කතා කොරපු එවුන්ට ගේම දෙන්න හදපු සංවිධානගත කල්ලියක්ලු. සුදු වෑන් එකෙන් ඇවිත් අදාල කෙනාව උස්සනවා. ආයිත් ඉතින් ලොවෙත් නෑ. සමහර සිද්දි අදටත් අබිරහස් කියනවනේ.”

” මාරයිනෙ.. ඉතින් සීයේ… ඊට පස්සෙ?”

 

” ඊට පස්සෙ ඉතින් ඔය විදියට අවුරුදු ගනනාවක්ම ගියාලු. යුද්දෙ වවන් කකා, රටේ සල්ලි නාස්ති කර කර, ලොකු එවුන් ජෝගි නැටුවලු. රටේ ජනතාව නොකා නොබී හීල්ලුවලු.”

” ඉතින් සීයේ… ඒ කාලේ මේ රටේ විපක්ෂයක් ඉඳලා නැද්ද???”

 

“මොකෝ නැත්තෙ…? ඉඳලා තියෙනවා. නිකං නෙවෙයි.. අවුරුදු තිස් හතලිස් ගාණක්ම විපක්ෂය ඒක. මොකක්ද මේ…. මට මතක නෑ ඒකෙ නම… මේ.. මේ.. ආ…. “එස්සත් ජාතික පස්සෙ”.. කියලයි අපේ මුත්තා නම් කිව්වෙ..හප්පේ..නිකං නෙවෙයි.. ඒකෙ නායකයා වෙච්චි උත්තමයා අවුරුදු විසි ගාණක්ම ඒකෙ නායකයලුනේ..”

 

” අම්මපා……. ඉතින් සීයේ ඒ යකාට බැරි වුනාද රටේ විනාසෙ ගැන ජනතාව දැනුවත් කරලා හරිහමන් දෙයක් කරන්න..???”

 

” මොන…. ඒ උත්තමයට කොන්ද පණ නෑ කියලා තමයි අපේ ආතා  නම් කියන්නෙ. ඊටත් වඩා හොදම කාරනේ,. ඒ උත්තමයා මැතිවරණ විසි ගාණකින්ම පැරදිලා ලෝක වාර්තාවකුත් තිබ්බය කියනවනේ..,”

 

” හුකෑෂ්….. අම්මපා සීයේ.. උගේ අර පුරුෂ ගැජට් එක තිබ්බද දන්නෑ… හික් හික්…විලි ලැජ්ජයි ඕයි….” කොලුවා කියවාගෙන ගියේ බඩ අල්ලන් හිනා වේවී… ඒත් සීයට මල පැනලා.

 

” ඕයි…. කාටද බොල ඕයි කියන්නෙ..?? උඹ ඕනවට වැඩියි..”

 

” අහ්… සොරි සොරි සීයේ…. හරි හරි කතාව කියන්නකෝ.. මට හිනාව නවත්ත ගන්න බැරි වුනා. බලන්න සීයේ.. මම වගේ නම් මැටිමාර පොල්ලක් කපාගෙන ගිහින් පක්ෂෙ එවුන්ටම දෙනවා. මට ගහපිය කුඩු වෙන්න කියලා… හික්.. හික්… හරි හරි ඉතින් ඊට පස්සෙ..??”

 

” ඊට පස්සෙ ඉතින් ඔන්න ඔයාකාරෙන් අවුරුදු ගාණක් ගෙවිලා ගියාලු. ඔය අවුඅස්සෙ තමයි හොඳම සීන් එක වෙලා තියෙන්නෙ…. ඔය විදියට ඉතින් රට පාලනය කරන අතරේ ජනාධිපතිවරණයකින් මිහිඳු කියලා රජ කෙනෙක් රටේ නායකයා වුනාලු. ඒ උත්තමයා තමයි රට එක්සේසත් කරන්න වැඩේ හදලා තියෙන්නෙ…කවුරුත් දිනන්න බෑ කියපු යුද්දෙත් දිනුවලු”

 

” අම්මපා..?  පට්ට සිරා පොරක් වෙන්න ඇති… නේද සීයේ..?”

 

” ම්.. අපේ ඒ කාලෙ මුතුන් මිත්තොත් එහෙම තමයි හිතලා තියෙන්නෙ මුලින්… ඒත් පස්සෙන් පහු, ඒ උත්තමයා තරම් රට උලාකාපු තවත් අම්බරුවෙක් නැහැයි කියලයි ඉතිහාසයේ සඳහන් වෙන්නෙ..”

 

“ඒ කිව්වෙ සීයේ….,? ඇයි ඒ යකත් යටින් ගේම දීලද? යුද්දෙත් දිනුවනම්..??” කොල්ලා හොල්මන් වෙලා ඇහුවා. සීයා තවත් බුලත් විටක් හපන්න පටන් ගත්තා..

 

” ඔව් ඉතින්,. යුද්දෙ නම් දිනුවා තමයි.. ඒ රජ තුමාගේ මල්ලිවත් ආරක්ෂක ලේකම් කොරලා,. හමුදාවේ උසස්ම වැඩකාරයෙක් හමුදාපති කොරාලු. එතුමා  පොන්සේකා කියලා සෙන්පතියෙක්…. කොහොමින් කොහොමහරි නියම සෙට් එකක් එකතුවෙලා තියෙන්නෙ. ඒ නිසාම යුද්දෙ දිනන්න පුලුවන් වෙලා. පස්සෙන්පහු ඉතින් යුද ජයග්‍රහණය බෙදා ගන්න බැරුව මහ රජතුමයි එයාගෙ ගෝල බාලයොයි ගේම ඉල්ලුවලු.

 

” චැහ්… කොයි රජත් ඔහොම්මමයි. මහ පකින්තුවො. ෂික්.. ඊට පස්සෙ ..??”

 

” ඊට පස්සෙ ඉතින් ආරංචියේ හැටියට හමුදා සෙන්පතියා එක්ක මහ රජ තුමා විරසක වුනාලු. ඒ නිසාම ඒ උත්තමයව හමුදාපති කමෙනුත් අස් කොරලා කොන් කරලා තිබ්බලු. ඊට පස්සෙ මේ රටේ වෙන විනාසෙ දැක්ක ඒ සෙන්පති තුමා ජනාධිපතිවරණෙකට ඉදිරිපත් වෙලා.. අන්න පුතේ එතුමාට කෙලවුන තැන..,”

 

” හෑ…? ඒ කිව්වෙ..?”

” ඒ කියන්නෙ අර සෙන්පතියා ඡන්දෙ ඉල්ලලා. ඉතින් ඒ ජනාධිපතිවරණෙන් මිහිඳු රජ තුමා දිනුවලු. මිහිදු මහ රජ තුමාට විරුද්ධව දේශපාලනේට ආපු වරදට එක එක ජිල්මාට් දාලා ඒ සෙන්පතියව මැතිවරණෙට පහුවදාම අත්අඩංගුවට ගත්තයි කියන්නෙ.. උන්දැ හිර කරාලු.,”

 

” නෑහ්………….. මාර පුතයෙක්නෙ මහ රජා.”

” ඒකනෙ. ආරංචියේ හැටියට නම්, ඒ කාලේ සෙන්පති තුමාට පට්ට ජනතා කැමැත්තක් තිබිලා තියෙනවා. ඒ නිසාම රජ තුමා හිර කරලා රට අල්ලයි කියන බයට එහෙම කොලා කියලයි රට්ටු කතා වෙලා තියෙන්නෙ..තව කියනවා, ඒ සෙන්පතියා කොන්ද පණ තියෙන සිරා පොරක්ලු. ඉතින් එතුමා දිනුවා නම් මහ රජාගෙ ඉඳලා සේරම ගෝල බාලයොන්ට බඩු බනිස් වෙන නිසා එතුමාට කෙලියයි කියලත් කියනවා..”

 

” ෂකේ ෂකේ….. මාර සීන් එකක්නෙ සීයේ. .. ඉතින් ඊට පස්සෙ මිහිඳු රජතුමා හොඳින් රට පාලනය කලේ නැද්ද?”

” මොකෝ නැත්තෙ..? රට පාලනය කලා විතරක් නෙවෙයි,. එන එන මැතිවරණෙ උඩින්ම දින්නා. ඒ කාලෙ මැතිවරණත් අම්බානක තිබ්බයි කියනවනේ…ඒ විතරක්යැ.. පට්ට සංවර්ධනයක් රටේ ඇති කොලාලු නෙ.. පාරවල්ද, පාලම්ද, බෝක්කුද….. පුහ්… මාරම සංවර්ධනයක්ලු. එතුමා මේ ලංකාදීපය ආසියාවේ ආස්චර්ය කොරන්නලු හැදුවෙ..,,”

 

” අම්මපා….?? ඉතින් සීයේ.. එහෙව් උත්තමයටද අර මේ රට උලාකාපු අම්බරුවා කිව්වෙ..?? කැතයි කැතයි…,,”

 

” මේකනේ බං.. එහෙම කොරලා තියෙන්නෙ මේ රට ආර්ථික අතින් ශක්තිමත් කරලා නෙවේලුනෙ. සේරම විදෙස් ණය වලින්ලු. ජනතාවට බදු බර අම්බානක ලු. ඒත් ලොක්කො සුර සැප වින්දලු. ජනතාවගෙ බදු මුදලින් ඒගොල්ලො සැප ගත්තලු. කුඩු කාරයො, මැරයො, බේබද්දො, සල්ලාලයො මැති ඇමතිවරු වුනාලු.. ඒ වුනාට මහ බැංකු වාර්තා වලින් නම් රට පට්ටම දියුනුයිලු. ජනතාවගේ ජීවන අංකයත් පට්ට විදියට නැගලලු…ඒක ආස්චර්යලු බං..තව ඉතින්,… නැව් එන්නැති වරායක්, .. අහස් යාත්තරා බාන්නෙ නැති ගුවන් තොටුපලක් එහෙමත් හැදුවලුනේ.. දැන් ඔය කට්ටි කරලා විකුනන්න දාලා තියෙන්නෙ ඒ ගුවන් තොටුපල නෙ..”

 

” මාරයිනෙ… ඉතින් ඔය සේරම වෙනකං රටේ මහ ජනතාව මොකද කලේ..?”

” වෙන මොනවද…. මොන දේ කලත්, යුද්දේ දිනපු මහ රජ තුමානේ කියලා කරන කරන අලුකුත්තේරු වැඩේට හුරේ දැම්මලු.. ”

” මහ ගොං ජාතියක් නේද සීයේ..??”

 

“ඇයි උඹ එහෙම කියන්නෙ..?” දැන් සීයා මඤ්ඥං වෙලා ඇහුවා.

 

” ඇයි කියන්නෙ… අච්චර යුද්දෙකට ප්ලෑන් ගහලා යුද්දෙ දිනන්න උදවු වෙච්ච සෙන්පතියා හිර කරලා, ජනතාවට බදු බර දීලා, රටේ සම්පත් කොල්ල කාලා, එක එක හුට්ටප්පර කරපු මහ රජ තුමා කරන කරන දේට හුරේ දාන ජනතාවක් හිටියා කියන්නෙ…. ගොං නෙවෙයි… මී ගොන්නු නේ..”

 

” ඒක කියන්නෙ අපිනෙ බං.. ඒ කාලේ මහින්දානන්දෙන් ඔද වැඩුනු, ආස්චර්යයෙන් මත් වෙච්ච, යුද්දයේ ජයග්‍රහණයෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් හිටපු ජනතාව ඕක කියලා නෑ නෙව.. උන්දැලාව අන්දන්න එක එක උප්පරවැට්ටි දැම්මලු ඒ රජ තුමා. කාලෙන් කාලට මැච්, පක්ෂ අතර ගැටුම්, ජන වාර්ගික ප්‍රශ්න, ආගම් වාද… ඔය වගේ නොයෙක් දේවල් ක්‍රියාත්මක කොරලා මිනිස්සුන්ට දුන්නලු. අපේ එවුනුත් ඉවක් බවක් නැතුව ඒ ලනු කාලා ඔහේ අහුවෙන අහුවෙන එකාට බැන බැන කාලෙ ගෙව්වලු.,”

 

“හප්පොච්චියේ… කොහොමද සීයෙ ඒ කාලෙ ජනතාව ඔච්චර හරක් රැළක් වුනේ..? මට නම් කියන්නත් ලැජ්ජයි වගේ දැන් අපි ලංකාවෙ කියලා.”

” ඒකනං ඉතින් එහෙම තමා… ඒ කාලෙ හිටපු මිහිදු මහ රජ තුමාගෙ අයියලා මල්ලිලා පුතාලා තමයි මේ රට පාලනය කරලා තියෙන්නෙ. මිනිස්සුන්ට පේන්න ඇමරිකාවට සිංහලෙන් බැන බැන ඇමරිකාවට ගිහින් දණින් වැටිලා ෂේප් වෙනවලු. මොකෝ ඉතින් ඒ කාලෙ හිටපු ඔබාමා උන්නැහැ සිංහල දන්න එකක්යැ..”

 

” උගේ අම්මගේ එකෙක්නෙ සීයේ ඌ නම්…,”

” ඔව්…. එතුමා එයාගෙ අම්මගේ තමයි…”

 

” හයියෝ සීයේ…. සීයත් පිස්සු කෙලිනවා.. මෙතන..”

 

” හරි දැන් ඉතින් ඔය රජ තුමා ඔය කියන විදියට මුලු රටම ඇන්දුවා..?”

 

“ඇන්දුවා කියන්නෙ කොලුවෝ….. අනික ඒ කාලෙ හිටපු ගොබ්බයො අන්දන්න දෙයක් තිබිල නෑ කියනවනේ.. රෙද්ද ගැන කිව්වම ඇතිලු. උන්ම කඩේ ගිහින් රෙද්ද අරගෙන කපලා මහලා යස අගේට ඇඳ ගන්නවලු.. ”

 

” යකෝ මාර රටක්නෙ මේක… ඉතින් ඒ රජ පරම්පරාව කොච්චර කල් එහෙම රට පාලනය කරාලුද..?”

” හප්පේ… අපේ අත්තා නම් කිව්වෙ, උන්දැලගෙ පරම්පරාවම තමයිලු ඉන් පස්සෙ මේ රට පාලනය කලේ.. අයියලා, මල්ලිලා, පුතාලා… ඒවට ගාණට වැඩේ හැදුවයි කියනවනේ… හීන් නූලෙන් මුලු රටටම කෙලවලා ඉඩම් ටිකත් ඉන්දියාවට පූජ කරලා මෑන්ස්ලා ටික ගොඩ ගියාලු…අද මේ රටේ ජනාධිපතිත් ඒ උත්තමයින්ගෙ නෑ පරපුරේ කෙනෙක් නෙ.”

 

” සීයා දවසක් කිව්වා නේද අර චන්ද්‍රිකාවක් උඩ යවපු රජ කුමාරයෙක් ගැන..? ඒකට මොකද වුනේ…?”

 

” අහ්… ඒක ඒ කාලේ මාර පබ්ලිසිටියක් දීලා උඩ යැව්වලුනේ… හරියට ලෝකෙම දැන් අපේ අතේ වගේලු කතාව තිබ්බෙ.. ඊට පස්සෙ මාසයක් විතර හෙන පම්පෝරි ගැහුවලු.. පස්සෙන් පහු, ඒ කුමාරයා ගැනවත්, චන්ද්‍රිකාවට මොකද වුනේ කියලා වත් කවුරුවත් මීක් සද්දයක් නෑලු. ඒකට වෙච්චි දේ දෙයියො තමයි දන්නෙ. ඒ අල්ලපනල්ලෙ ඒ රජ කුමාරයා කොහොමද අභ්‍යවකාශ ඉංජිනේරුවෙක් වුනේ කියලත් ගැටලු තිබ්බලු.. මොකද අර තව කුමාරයෙක් නීතිඥයෙක් වුනාලුනෙ… ඒකත් හොරට හදා ගත්තා කියලයි ඉතිහාසෙ කියවෙන්නෙ. තවත් කුමාරයෙක් නාවික හමුදාවෙ ලොක්කෙක් වුනාලුනෙ උඩින් පාත් වුනා වගේ.. ඉතින් ඔය වගේ සීන් නිසා ඔය රොකට් කුමාරයා ගැනත් මිනිස්සුන්ට විචිකිච්චාවක් තිබිලා තියෙනවා… ඒත් ඉතින් අර කලින් කියපු යුද ජයග්‍රහන අරවා මේවා නිසා මිනිස්සුන්ට ඒවා ගාණක් තිබිලා නෑලුනේ…”

 

” හනේ අම්මාපල්ලා සීයේ.. මෙහෙව් ගොබ්බ ජාතියක්ද අපේ ඉතිහාසෙ හිටියේ..??”

” හනේ මන්දා බං… අපි ඒ කාලෙ නොහිටියෙ වාසනාවට. නැත්නම් ඔය විජ්ජුම්බර බල බලා අපිටත් ඉන්න තිබ්බා නොවැ.. බලපං අද අපිට ඉතිරි වෙලා තියෙන්නෙ මොනවද කියලා…. උන්ගෙ ඒ කෙරුවාව නිසා අද මේ පුරාණ ලංකාවෙ තිබ්බ පෞරාණික වස්තු දකින්න නෑ.. ඒවා සේරම කාබාසිනියා කරලා. මැති ඇමතියො නිධන් හොරු.. අද කෝ අර තිබ්බයි කියපු පුරා විද්‍යාත්මක ස්ථාන.. මොනවත් නෑ.. රක්ෂිත වනාන්නතර නෑ.. සීගිරිය කියලා මහා විශාල කල් තලාවක් තිබ්බලු.. ඒකත් ඒ කාලෙ රජ තුමාගෙ අයියලා මල්ලිලා ටික ගල් කොරියක් කරලා වික්කලුනේ..”

 

“හපොයි… පුදුම විනාසයක් නෙ සීයේ… එතකොට අර සිරීපාදෙ කියලා තැනක් ගැන  කියනවා නේද…? ඒකට මොකද වුනේ..??”

” ආ.. ඒකටත් මිහිදු රජාගෙ මල්ලි කෙනෙක් ගේම දුන්නලු. එක මලයෙක් ඉඳලා තියෙනවා හෝටල් පිස්සුව හැදිච්ච. ඒ උත්තමයා සිරීපාදෙ හෝටලයක් හැදුවලු.. පස්සෙ කාලෙදි ණය ගෙවා ගන්න බැරුව.. චීනෙට වික්කලු. දැන් ඔය චයිනීස් හෝටලයක් තියෙන්නෙ ඒ තැන තමයි.., තව තව ඒ වගේ පූජනීය ස්ථාන වලට ගේම දුන්නලුනේ පස්සෙ බලයට ආපු නාමල් කුමාරයා කියලා කෙනෙක්… ඔය පරාක්‍රම සමුද්‍රය කියලා මහා විසාල වැවක් තිබ්බලු.. දැන් එතන තමයි ඔය ලැම්බෝගිනි රේස් පදින ධාවන පථය තියෙන්නෙ..”

 

” හපෝයි සීයේ… අපි මහ කාලකන්නි ජාතියක්නේ… එතකොට දැන් මේ රටේ සුලු ජාතිය සිංහල වෙන්න හේතුව මට හිතා ගන්න පුලුවන්… ඒ විතරක්යැ.. ශ්‍රී ලංකාව කියලා හඳුන්නපු මේ රට… චයිනීස් ලංකා වුනේ කොහොමද කියලත් මට දැන් පැහැදිලියි…… සීයේ… අර මොකක්ද අර ඈතින් එනවා පෙන්නේ….??”

 

අෑත අහසේ වේගයෙන් ඇදී එන වස්තුවක් දැක සීයා සහ මුනුබුරා එදෙස බලා සිටියේ පුදුමයට පක් වෙලා. සුදු පැහැයට හුරු අද්භූත යානාවක් බඳු එම වස්තූව ඉතා වේගයෙන් ඇදී ඇවිත් සීයා සහ මුනුබුරා සිටි  ස්ථානයේ පතිත වූවේ මහා විශාල ශබ්දයක් නගා ගෙන. එම සිදුවීමෙන් පැය කිහිපයකට  පසු රට පුරා මෙසේ  පුවත් විකාශය විය…

 

” අද උදෑසන හතට පමණ මොනරාගල ප්‍රදේශයේ පුරන් වූ වෙල් යායක් මතට ආකාශ වස්තුවක් කඩා වැටී ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.. මෙය මීට වසර පන් දහසකට පමණ පෙර මේ රට පාලනය කල මිහිඳු රජුගේ පුත් ගගන ගාමී රෝහිත නම් කුමාරයා විසින් ගුවන් ගත කල රොකට් යානාව ලෙස හඳුනා ගෙන ඇත… මෙය ගුවන් ගත කල දා පටන් ක්‍රියා විරහිතව තිබූ එකක් බව විද්‍යාඥයින් මත පල කර සිටී.. මෙම යානාව කඩා වැටුනු අවස්තාවේ මෙම ස්ථානයේ ගවයින් රැක බලාගත් සීයා කෙනෙකු සහ මුනුබුරෙකුද අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තා කරු පවසයි…”

 

– ඒ්.එම්.එස්. වික්‍රම-

2014/06/02

Advertisements

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s