මහින්දාගමනය නිව් වර්ෂන්..


ලංකාවේ මහින්දාගමනය සිදුවී බොහෝ කලක් ගතවී ඇති හෙයින් නැවත ඒ ගැන සොයා බැලීමක් කරන්නට මිහිඳු මිහියන්ට සිතක් පහල වෙයි. ඒ අනුව නැවතත් පෙර කල වැඩි පිරිවර සමගින්ම ලංකාවට වැඩම කිරීමට තීරණය කරයි. ඒ අනුව මිහිඳු හිමියන් ප්‍රමුඛ පිරිවර ලංකාවට සැපත් වෙයි..  ඍද්ධි බලයෙන් වැඩම කරනා උන්වහන්සේලාට ලංකාවේ පෙරකල වැඩි ස්ථානය සොයා ගැනීමට පවා අපහසු වෙයි..

සුනාමි ව්‍යයසනය මෙන්ම වෙනත් මුහුදු ඛාදන නිසා සහ මුහුදු ගොඩ කිරීම්.. රට ඇතුලට හෑරීම් වගේ දේ නිසා ලංකාවේ හැඩයද වෙනස්වී ඇති බව මිහිඳු හිමියන් සහ පිරිවරට පෙනී යයි. ඒ අනුව මිහින්තලය යැයි සිතා උන් වහන්සේලා වැඩම කරනුයේ මහ බැංකු ගොඩනැගිල්ල මුදුනටය…

තිස්ස … තිස්ස… යැයි මිහිඳු හිමියන් කෑ ගැසූ හඩ ඊට පිටුපසින් සිටි හිමි නමට පවා නෑසුන හෙයින් අසල සිටි තාපස තුමා මිහිඳු හිමියන් වෙන මෙගාෆෝනයක් ලබා දුනි. ඉන්පසු නැවතත්..

තිස්ස… තිස්ස…

මෙගා ෆෝනයේ හඩ දසත පැතිරී යද්දි එම හඩ ගෝල්ෆේස් පිටියේ ව්‍යායාම කරමින් සිටි රජ තුමාට ඇසී රජතුමා තුෂ්නිම්භූතව වට පිට බැලූහ. එකෙනෙහිම රජුගේ ආරක්ෂක සේනාව මහ බැංකු ගොඩනැගිල්ල වටකොට, කැරළි මර්දන කණ්ඩායම් සහ සියලූම ආරක්ෂක විධිවිධාන තර කලහ. සිදුවීමට යන්නේ කුමක් දැයි වටහාගනු නොහැකිව මිහිඳු හිමියන් සහ පිරිවර ගල් ගැසී බලා සිටින්නට වූහ.

රජු – කවුද බොලේ මේ..??  ඉල්ලීම් මොනවත් දෙන්නෑ … කතා කරන්න එපා හරිය.. මහ බැංකුව උඩට නෙවෙයි ලෝක බැංකුවට උඩට නැග්ගත් එච්චරයි.

මිහිඳු හිමි –  නෑ.. මේ .. මේ.. මම මිහිඳු හාමුදුරුවො.. මේ මගේ පිරිවර. ඇයි මතක නැද්ද මීට කලිනුත් අපි ආවා..??

ආරක්ෂක සේනාව දැක කටේ කෙල සිඳී ගිය මිහිඳු හිමියන් ගොත ගසමින් පැවසූහ.

රජු – හෑ…. මිහිඳු හාමුදුරුවො..? ආයිමත්…? එතකොට තිස්ස තිස්ස කිව්වෙ ..?? පුහ්…. හෝ …හෝ… එතකොට එහෙනම් දැන් ආව හොරේ මට තේරුණා. හිතන් ඉන්නෙ දැන් රජ කරන්නෙ තිස්ස කියලා නේද…? සේරම දේවල් තිස්සට කරන්න හිතාගෙන ආවා නේද හොර ගෙඩියා… හික්ස්.. මිනිහා කොහේ රජ වෙන්නද.. රජ වෙන්න තියා තාම කෘත්‍යාධිකාරී මණ්ඩලේවත් හරියට සෙට් කරගන්න බැරුව මිනිහා ඉන්නෙ.. අනික මිනිහගෙ බොසා දැන් අවුරුදු ගාණක ඉඳන් ලෝකෙ එක දිගට පරාජය වෙන විපක්ෂ නායකයෙක් හැටියට වාර්තාවකුත් තියලා.. මිනිහට රජ වෙන්න බැරි එකේ පක්ෂයේ මහ ලේකම් වෙච්චි තිස්සයා මොන කෙංගෙඩියක් කරන්නද.. යැයි කොඩි ගස යට හිඳ ගනිමින් රජ තුමා පැවසූහ.

මෙලෝ මලදානයක් තේරුම් ගන්න බැරුව අඤ්ඤකොරොස් වූ මිහිඳු හිමියන් ලේන්සුවකින් මුහුණ පිස දැමූහ.

මිහිඳු හිමි – නෑ..නෑ.. ඔබ තුමාට වැරදීමක්. අපි ආවෙ ලංකාවට. මේ ලංකාව නෙවෙයිද??

රජු – ලංකාව තමයි. ඒ විතරක් නෙවෙයි. ආසියාවෙ ආශ්චර්යය …..ඇයි අවුල්ද??

මිහිඳු හිමි – එතකොට ඔය තිස්ස රජතුමා නෙවෙයිද..?

රජු – හා.. උඹ බබා.. උඹ දැන් මේ තිස්සයා හොයාගෙන ඇවිත් දැන් මගෙන් අහනවා මම තිස්ස නෙවෙයිද කියලා නේද..? ලංකාව හොයා ගන්නත් පුලුවන් නම්.. තිස්සයා ගැනත් දන්නවානම් උඹ මාව අඳුරන්නෑ නේද..?? අනේ හුකේ. යකෝ මමත් මිහිඳු තමයි..

මිහිඳු හිමි – අම්මටහුඩු……. ඔයත් මිහිඳු කෙනෙක්ද..? එතකොට ඔයත් ඉන්දියාවෙද..? ඉතින් ඇයි ඔයා සිවුරක් නැතුව මේ බොටම් එකකුයි ටී ෂර්ට් එකකුයි ඇඳලා..? ඌ….යි…

මෙම අහඹු සිදුවීමෙන් මිහිඳු හිමියන්ගෙත් මොලේ මඤ්ඥංවී ඇති බව වටහා ගත් පරිවාරක හිමි නමක් මිහිඳු හිමිගේ කකුලක් පෑගූහ. රජු මිහිඳු හිමියන් වැඩ සිටි මහ බැංකු ගොඩනැගිල්ල අසලටම ගොස් නතර වූහ.

රජු – මේ.. අප්පුහාමි.. බහිනවා ඕකෙන් බිමට. තමුසෙට බෑ මාව අන්දන්න. මමත් හොඳ මඩ කරියෙක් තමයි හරිය…? දැන් මට කියනවා තමුසෙ කවුද, කොහෙන්ද අවෙ, මොකටද අවෙ කියලා…

මිහිඳු හිමි – තරහා අවසර.. ඔබ තුමා ඇත්තටම තිස්ස නෙවේද කියන්නකො..?

රජු – නෑ ඕයි. දැන් සැරයක් කිව්වෙ….මම මිහිඳු රජු. දැන් ලංකාවෙ රජ කරන්නෙ මමයි.

මිහිඳු හිමි –  හරි හරි… කමක් නෑ. එහෙනම් මට කියන්න… කෝ එතකොට මුවා..??

රජු – මුවා…?? මොන මුවෙක්ද..?

මිහිඳු හිමි – ඇයි අර ඔයා දුනු ඊතල අරගෙන එලවගෙන ගියපු මුවා…? ඌ කෝ..?

රජු – මේ……. තමුසෙ ගන්ජා ගහලද..? ඒ ඉස්සරනෙ මුවෙක් හිටියයි කියන්නෙ. දැන් මුවො නෑ. දෙහිවල සත්තු වත්තෙ නම් ඉන්නවා ඇට ගැහිච්ච මුවො ටිකක්. කැළෑවල හිටපු එවුන්ටත් ගේම දුන්නා අපේ අය… නෑ නෑ… සොරි සොරි… අපේ අය නෙවෙයි.. අනිත් අය. අලි නම් දැන් ටිකක් මාකට්. හොරෙනුත් උස්සනවා.

මිහිඳු හිමි – එතකොට අඹ ගහ ..??

රජු – මේ හලෝ…. අප්පුහාමි.. මම සැරයක් කිව්වනේ. බහිනවා ඕකෙන් බිමට. එනවා යන්න මාත් එක්ක. මම පැහැදිලි කරලා දෙන්නම් සීන් එක. තමුසෙ දැන් කරකවලා වැල්ලෙ අතෑරියා වගේ බහුබූත කියවන්නැතුව එනවා යන්න.

ආරක්ෂකයෝ කිහිප දෙනෙක් වහා මහ බැංකු ගොඩනැගිල්ල වෙත ගොස් මිහිඳු හිමියන් ප්‍රමුඛ පිරිවර පහලට කැඳවාගෙන ආවෝය. එකෙනෙහිම අති සුඛෝපභෝගී රථ කිහිපයක් මිහිඳු හිමි සහ පිරිවර රැගෙන ඉගිල ගියෝය. ඒ යන අතරතුර රජු මිහිඳු හිමියන් අමතා සේ පැවසූහ..

රජු – මේ.. ගොයියෝ… ආයිත් එහෙම ඔය තිස්ස …. රනිල් .. ආ නෑ රනිල් කියලා කෙනෙක් නෑ. මට වැරදුනා.. අනුර වගේ නම් එහෙම කියන්න එපා හරිය..? කොටින්ම තමුසෙලා කිසිම නමක් කියන්න එපා මහින්ද ඇරෙන්න. වෙන නම් කියන්නම ඕනෙ නම් ඔය නාමල්, බැසිල්, ගෝඨා වගේ නම් කිව්වට කමක් නෑ. වෙන නම් කියන්න ගියොත් තමුසෙලා ජනතාවගේ උදහසට ලක් වෙන්න පුලුවන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කාරයො කියලා. ඒ නිසා පරිස්සමෙන් කතා කරනවලා.

මිහිඳු හිමි – එතකොට මේ රටේ වෙන කවුරුත් නැද්ද මහින්ද ඇරෙන්න..??

රජු – කට.. කට…

රජ තුමා මිහිඳු හිමිගේ කට තදකොට අල්ලාගෙන අරලියගහ මන්දිරය වෙත යන තෙක්ම සිටියහ.

රජු – දැන් කට්ටිය බහින්න. මේ මගේ මාලිගාව. මේ මගේ දේවින් වහන්සේ. අර මේ රටේ අනාගත රජ බේබි. අර ඉන්නෙ මගේ හොඳ ගෝලයෙක්.. මිනිහා දුටු ගැමුණු පරම්පරාවෙ… එතකොට අර ඉන්නෙත් එල බුවෙක්. ණයට කහින්න දෙයියා. කොයි වෙලෙත් කටේ තියෙන්නෙම විජාතික බලවේග ගැන.. තමුසෙලා මිනිහගෙන් ටිකක් පරිස්සම් වෙලා හිටියොත් හොඳයි.. අර.. අරයා… මෙයා… ආදී වශයෙන් සියල්ලෝම හදුන්වා දුන් රජ තුමා, පිරිවර මාලිගය තුලට කැදවාගෙන යන ලදී. සුව පහසු අසුන්  පනවා හිඳ ගැන්මට ආරාධනා කල රජු මිහිඳු මිහියන්ගෙන් විස්තර ඇසීමට හරිබරි ගැසී හිඳ ගත්හ.

මිහිඳු හිමි – අපි ආවේ ලංකාවෙ බුදු දහම දැන් කොච්ර දියුණු වෙලාද කියලා හොයලා බලන්නයි. ඒ කාලෙ අපි එනකොට ලංකාව තනිකර සත්තු වත්තක්නෙ. හරි අමාරුවෙන් වැඩේ ගොඩ දාලා ගියේ. පත්තරවල එක එක විජ්ජුම්බර තිබුණට අපි හිතුවෙ නෑ මෙච්චරම අවුල් ඇති කියලා. අපි හිතුවෙ මේ මධ්‍ය කාරයොන්ගෙ බොරු කියලා. දැන් බලන් යනකොට සේරම……

රජු – මේ.. මේ.. පොඩ්ඩක් ඉන්නවලා..එතකොට තමුසෙලා ආවෙ අපිට ආධාර දෙන්න නෙවෙයිද..? රටේ ඉදිරි සංවර්ධන වැඩ පිළිවෙල දැකලා අපිට තව ආධාර කරන්න නෙවෙයිද..??

මිහිඳු හිමි – මොන ආධාරද..? අපි ආවෙ ලංකාවෙ බුදු දහම ගැන බලන්න. මේ මොනවද මේ කියවන්නෙ..? අපි දන්න කොහෙල්මල් සංවර්ධනයක් නෑ.

රජු –  බොරු.. බොරු… අන්න බොරු කියනවා… දැන් බලන්න ඔය තිස්සලා වගේද අපි..? අපි මේ රට කොච්චර දියුනු කලාද.. කාටවත් නවත්තන්න බැරි වෙච්ච යුද්දෙත් අපි දිනුවා. පාරවල්, පාලම්, බෝක්කු අරවා මේවා සේරම අපි එලට හැදුවනේ…

මිහිඳු හිමි – ඒ වුනාට පත්තර වල නම් තියෙන්නෙ ලෝකෙටම ණය වෙලා ඕවා හැදුවෙ කියලා. කොටින්ම ලංකාව කියලා අහන්නත් නෑ.. මොකක්ද චීන කෑල්ලකුත් තියෙනවද කොහෙද..

රජු –  හරි හරි ඉතින්… ණය ගන්නැතුව රටක් සංවර්ධනය කරන්න බෑනෙ.. අනික ඔය ටිකක් ණය වුනාම මොකෝ…? අපි ගෙවන එකක්යැ.. අනාගතේ රට බාරගන්න අය ඒකට දැන්ම ඉඳන්ම අපි හැඩ ගස්සන්න ඕනෙ.. මෙච්චර ගේමක් දීලා අපි යුද්දෙ දිනපු එකම මදිද..? හිටපු හමුදාපති ජෙනරාල්… ආ.. නෑ නෑ.. එහෙම කෙනෙක් හිටියෙ නෑ… මමයි යුද්දෙ දිනවලා දුන්නෙ. ඒකම මදිද..? දැන් බලන්නකෝ ආසියාවෙ ආශ්චර්යයට ඔන්න මෙන්න… ඔන්න මෙන්න…

මිහිඳු හිමි – අපි දන්නෑ ඕවා.. අපිට වැඩකුත් නෑ ඒවා. අපි ආව අපේ වැඩෙට. අපි ආවෙ බුදු දහම ආරක්ෂා කරන්න විතරයි.

රජු – අම්මපා කියපං..?

මිහිඳු හිමි –  අම්මපා…

රජු – නැගිටිනවා සේරම. බහිනවා දොට්ට. යකෝ මම හිතුවෙ මේ අපිට හොරෙන්ම තිස්සලට ආධාර දීලා උන්ව උඩට ගන්න ආවා කියලා. මෙච්චර කාලයක් පැරදිච්ච බුවාලා ගොඩ ගන්න ආවා කියලයි මම හිතුවෙ. අනික මමත් බැලුවෙ ඒ ආධාර ටික අපිට අරගෙන අපි තව ටිකක් ශක්තිමත් වෙන්නයි. අනික දැන් බුදු දහමට වෙන්න ඕන දේවල් වෙන්නයි යන්නෙ. අපි ගාණට වැඩේ සැට් කොරලා තියෙන්නෙ. දැන් බෞද්ධ බුවාලයි, මුස්ලිම් බුවාලයි වැඩේ ඇදගෙන යනවා. හරි හරි ඒවයින් වැඩක් නෑ….ආරක්ෂක භටයිනි.. මේ සෙට් එකම ඇරස්ට් කරලා ජාති ද්‍රොහියො කියලා නිවුස් එකක් දාන්න.

එම ප්‍රකාශයත් සමග මිහිඳු හිමියන් උඩගොස් බිම වැටුනේය. සිදුවීමට යන විලම්බෑසිය තේරුම් ගත නොහැකිව සිටි උන් වහන්සේ ඇතුලු පිරිවර කරකියා ගත නොහැකිව අසරණ වූහ. එකෙනෙහිම ආරක්ෂකයෝ මෙම පිරිවර වටකර ගත්හ. නමුත් මිහිඳු හිමිට ගණදෙවි නුවණ පහල විය.

මිහිඳු හිමි – ඔහොම ඉන්නවා. අපි කිව්වෙ බොරු. අපි ආවෙ බුදු දහම ගැන බලන්න නෙවෙයි. අපි ආව ලංකාවෙ යුධ අපරාධ ගැනයි, මානව හිමිකම් කඩ වීම ගැනයි, ලංකාවෙ තියෙන දූෂණ වංචා ගැනයි හොයන්නයි. තමුසෙලා අපිට කරදරයක් කලොත් අපේ සෙට් එක පිට රටවල ඉඳන් බලාගෙන ඉන්නෙ. නමුසෙලාට ඇපත් නැති වෙයි. තමුසෙ වගේ හොර තක්කඩි පාලකයෙක් හිටපු තව රටකට අපි ගේම දුන්නා. තමුසෙත් ඔය කන්න තමයි දඟලන්නෙ.

මිහිඳු හිමිගේ එම ප්‍රකාශයත් සමග සියලු දෙනා මීයට පිම්බාක් මෙන් විය. මිහිඳු හිමිගේ පිරිවර සේනාවද මඤ්ඥංවී ඇත. එකෙනෙහිම දුටුවේ මහින්ද රජු සෝපාවක් මත වැතිරී සිටින අයුරුත්, රජ දේවිය රජුගේ මුහුණට වතුර ඉසිමින් පවන් සලන ආකාරයත්ය. රජුගේ සහ පිරිවර බිම වැතිරී මිහිඳු හිමියන්ට වැඳ වැටී සිටින ආකාරයත් දැක ගත හැකි විය. එකෙනෙහිම මුහුනේ පොන්ටින් කට් එකක් සහිත, කොණ්ඩය මැදින් බෙදා දෙපසට පීරා සෙල් ෆෝනයක් අතේ ඇති කෙනෙක් රජ මැදුර වෙත දිව එන අයුරු දැක ගත හැකි විය.

ඔහු – මම කිව්වෙ… මම කිව්වෙ.. ඕක විජාතික බලවේගයක්. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක්. මේක ඇමරිකාව ප්‍රමුඛ ලෝක බලවත් රාජ්‍ය සමග එක්වී…….

රජු – නවත්ත ගන්නවා ඕයි.. නමුසෙ ඕන දේටයි එපා දේටයි ඔය මල මගුලම දොඩවලා මට දැන් ඇති වෙලා. අන්න අරෙහෙ පැත්තකට වෙලා ඉන්නවා. මගෙන් කුනුහබ්බ අහගන්නැතුව…

නැවතත් රජු මිහිඳු හිමියන් වෙත ගොස් වැඳ නමස්කාර කලහ.

රජු – අනේ තරහා අවසර.. ඔයාට විහිලුවක් වත් තේරෙන්නෑනෙ අප්පා.. මේ.. මම කියන්නද වැඩක්. ඔන්න ඔය මානවා හිමිකම්,.. යුධ අපරාද.. එන්න ඒවා අල්ලලා දාන්න. ඔයාගෙ රටේ උනුත් හදන්නෙ ඔයාව කඩේ යවලා ෂේප් වෙන්න. ඒවට අහුවෙන්න එපා. මම කියන්නද වැඩක්. අපි මෙහෙම කරමු. මම ඔයාට හොඳ අයිඩියා එකක් දෙන්නම්. මොකද කියන්නෙ..??

මිහිඳු හිමි මදක් කල්පනා කරන්නට විය. වෙන්නට යන උවදුරෙන් ගැලවීමට නම් මොලේ පාවිච්චි කල යුතු යැයි උන්වහන්සේ සිතූහ.

මිහිඳු හිමි –  හරි… කියනවා බලන්න.

රජු – අන්න එහෙම එන්නකො.. අපි බොක්ක වුනත් දෙනවනේ එකෙන්ම.. මේකයි කතන්දරේ. දැන් මේ රටේ ප්‍රශ්ණ අම්බානක වැඩි වෙලා අච්චාරු වෙලා තියෙන්නෙ. මිනිස්සු දැන් එකා එකා එකතු වෙලා අපිටම කෙලින වැඩක් සෙට් වේගෙන එන්නෙ. අපි යුද්දෙ දිනපු එකයි, ආසියාවෙ ආශ්චර්යය ඔන්න මෙන්නයි කිය කියා ෂේප් වෙනවා. නමුත් ඒක හැම දාම කොරන්න බෑනෙ මචෝ.. දැන් අලුත් වැඩක් දාන්න ඕනෙ.

මේකයි සීන් එක. දැන් සිංහල අය විතරක් නෙවෙයි මුස්ලිම් අයත් අපි එක්ක ගේම. උන් දෙගොල්ලො එකතු වුනොත් බඩුම තමා. අපේ බේබි රජ වෙලත් ඉවරයි.. ආශ්චර්යයත් ඉවරයි.. සේරම කෙලවිලා අනුරයා හරි සමහර විට රනිලාම හරි මගේ පුටුවට කෙලිනවා. අනිත් පැත්තෙන් අර ජෙනරාල්…ආ.. නෑ නෑ.. එහෙම කෙනෙක් නෑ.. මට ටැපලෙනවා අප්පා…..ඒ නිසා සිංහල මුස්ලිම් දෙගොල්ල අතර ගේමක් හදන්න ඕනෙ. ඒකට නියම ආයුදේ මොකක්ද…. මොකක්ද… මෙන්න මේක.. මෙන්න මේ සිවුර.

උඹලට මම ලංකාවෙ පුරවැසිකම දෙන්නම්. තව ඕන දෙයක් ඉල්ලපල්ලා දෙන්නම්. උඹලට තියෙන්නෙ බල සේනාවක් අටවා ගන්න එකයි. උඹව කවුරුත් අඳුනන්නෙත් නෑනෙ. උඹගෙ සෙට් එක දන්නෙත් නෑනෙ. ඒ නිසා ඒකෙ නමට බෞද්ධ කෑල්ලකුත් දාගෙන වැඩේ පටන් ගනින්. උමලා උඩින් පාත්වුනා වගේ බැස්සම ගේම ගහන්න ලේසියි.. ඔය මිහිඳු කෑල්ල ගාව ගන්නවත් එපා. ඒ නිසා උඹේ නමට මොකක්හරි සාරු කෑල්ලක් එක්ක නමක් දාගනින්. ඊට පස්සෙ ගේම උඹලගෙ අතේ. තව අවුරුදු තුන හතරකින් උඹලත් මේ රටේ පට්ට බුවාලා. ඡන්දෙ ඉල්ලුවොත් බඩුම තමා. උඩින්ම දිනනවා. මොකද කියන්නෙ..? හැබැයි පුතෝ අපේ සම්බන්ධයක් ගැන කට හොල්ලන්නෑ හරිය..??

එම දීර්ඝ විස්තරය අසා සිටි මිහිඳු හිමියන්ටද පොඩි ආතල් එකක් ඇති වූ අතර පිරිවර සේනාවද කසුකුසු ගාන්නට වූහ. මද වේලාවක් සිය පිරිවර සමග සාකච්ඡා කල මිහිඳු හිමියන් රජු ඉදිරියට පැණියහ.

මිහිඳු හිමි – අයිස්අම්මා ගුංඩුං……….. යකෝ ඔය තියෙන්නෙ පට්ට අයිඩියා. තෝ නම් රජෙක් නෙවෙයි රජ ගඩ්ඩෙක්… උම්මා

 – ඒ.එම්.එස්. වික්‍රම –

Advertisements

බුකි වීරයින්ගේ ගීතය..


(මෙම ගීතය “සොර දෙටුවෙක්.. කස තැලුම් කකා..” යන ගීතයේ තනුවට එළටම ගායනා කල හැකිය…)

 

ගොංබිජ්ජෙක්… ප්‍රීපේඩ් දමාගෙන..

හොර නමකින් බුකියට ගොඩවී….

දමන පෝස්ට් දැක… හතර හිනා යන

අහෝ දුකයි කීවාලූ… අහෝ දුකයි කීවාලූ…..

අනේ මෙහම ගොං ආතල්… අනේ මෙහෙම ගොං ආතල්…

චූ කර නිදාගනින් සැනසීමෙන්…

 

බුදු පුතෙකුන්.. සිය ගෝලබාලයින්…

මැර බලයෙන් සද්දෙ දමාලා….

නටන නැටුම් දැක… චූන් වෙලා බොල

අහෝ එළයි කීවාලූ… අහෝ එළයි කීවාලු…

අනේ මෙහම ගොං ආතල්… අනේ මෙහෙම ගොං ආතල්…

චූ කර නිදාගනින් සැනසීමෙන්…

 

මහා රජෙක්.. ලංකාවම කනකොට..

අඳ ගොලු බීරන් වගෙ ඉඳලා…

බොරුවට දඟලන … බුකි වීරයො දැක

අනේ හුකේ කීවාලු…. අනේ හුකේ කීවාලු…

අනේ මෙහම ගොං ආතල්… අනේ මෙහෙම ගොං ආතල්…

චූ කර නිදාගනින් සැනසීමෙන්…

-ඒ.එම්.එස්. වික්‍රම-