ඇත්තටම අපි පොරවල්ද..? මධ්‍යස්තව සිතමු..


මේ රටේ ජීවත් වන අප විවිධ අවස්තාවන් වලදී විවිධ හේතූන් මත ජන වාර්ගික ගැටුම් වලට මැදිහත් වී ඇත්තෙමු. නැතහොත් අසා දැන ඇත්තෙමු. මේ මගේ රට, මේ මගේ ජාතිය, මේ මගේ අාගම ආදී මමත්වය පෙරටු කර ගත් දැක්මකින් ගැටලු දෙස බැලීම මෙයට හේතුව ලෙස මා දකිමි.

 

අතීතයේ පටන් ශ්‍රී ලාංකිකයින් වශයෙන් මෙරට ජීවත්වූ ජනයා හුදෙක් සිංහලයාමය යන නිගමනයේ සිටිමින්, සිංහල අප පමණක් මේ රටේ උසස් යැයි ස්වයං මනෝභාවයකින් පෙලෙමින් අන්‍ය ජන වර්ගයන් පහත් කොට සැලකූ සහ සැළකීමට පෙළඹවූ මානසිකත්වයක් යටතේ පැවත එති. එහෙයින් සියලූම වරප්‍රසාද සහ අයිතීන් පළමුව සිංහලයටත්, දෙවනුව අනෙක් ජන වර්ග වලටත් ලැබිය යුතු යැයි සංකල්පයක් අප සමාජයේ මුල් බැසගෙන ඇත.

 

අතීතයේ විසූ පාලකයින්, විරුවන්, දේශමාමකයින් ආදී නොයෙක් ස්වරූපයෙන් ලංකාවේ ඉස්මතු වූ පුද්ගලයින් බොහෝ විට කතාකොට ඇත්තේ සිංහලයා වෙනුවෙනි. ඒ සැබවින්ම මිනිසා අවධි කිරීමට විනා ජාතිවාදයකට නොවේ. එහෙත් එසේ නැතුවාමද නොවේ. නමුත්, එවකටද මේ රටේ සිංහල, දෙමල, මුස්ලිම්ආදී විවිධ ජන කොටස් ජීවත්ව සිටියහ. එහෙත්  එම කතා වලින්, හැසීරීම් වලින්, භාවිතයෙන් අනෙක් ජන වර්ගයාගේ මානසික මට්ටම පහතට ඇද දැමූ බව බොහෝ දෙනෙකු පිළි නොගන්නා සත්‍යයක් වී ඇත. එසේ නොවී කල යුතුව තිබුනේ ශ්‍රී ලාංකිකව පොදු ජාතියකට ඇමතීමය. එය සිංහල, දෙමල, මුස්ලිම් සහ වෙනත් සෑම ජන වර්ගයාම ඇතුලත්වන පරිද්දෙනි. මන්ද යත්, මේ රටේ සිදුවූ සියලු ගැටුම්කාරී තත්වයන් නිර්මාණය කලේ ජාතියක් වශයෙන් ( දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය) නොව, ඔවුන් විසූ ජන වර්ගයේ ඇතැම් අන්තවාදී පුද්ගලයින් කිහිප දෙනෙකු විසිනි. එහෙත් බහුතර එම ජාතියේ මිනිසුන් රටක් වශයෙන් ඒකීයව සමගිව විසීමට කැමති වෙති.

 

කෙසේ වෙතත් සිංහලයා පමණක් මුල් කරගත් තත්වයන් දිනෙන් දින වර්ධනය වෙද්දී එකම රටක් තුල අසමාන සැළකීම් ලැබීමට කිසිවකු කැමති වූවේ නැත. එම තත්වය යටතේ වූවද රටේ ප්‍රධාන පාලකයාගේ සිට සියලූම පරිපාලන යාන්ත්‍රණ දියත් වූවේ සිංහල ජන වර්ගය මුල් කර ගත් සමාජ වටපිටාවක් තුලදීය. හාල් පෝලිම, පාන් පෝලිම ආදී අතීතයේ පැවති සළාක ක්‍රමයේදී පෝලිම් පැන ඉදිරියට ගොස් බලහත්කාරයෙන් සිය වාරය උදා කර ගත්තෝ සිංහලුන්මය. එවකටද එම පෝලිම් වල සියලු ජන වර්ගයන් සිටියහ. එහෙත් සමාජයේ රෝපිත සිංහල කම විසින් අනෙක් ජන වර්ගයා අපහසුතාවයට පත් කරමින් හෑල්ලුවට ලක් කරමින් ඉදිරියට ගිය හැටි බොහෝ දෙනෙක් දන්නා කරුණකි. එහෙත් පිළිගැනීමට මැලි වෙති. අදටත් එම තත්වය එසේමය.  එකල්හිදී සිය අසරණ භාවය වෙනුවෙන් හඬක් නැගීමට නොහැකි බහුතර මිනිසුන් නිශ්ශබ්දව පසුපසට ගියේ සැබෑවටම ඔවුන්ගේ අසරණ භාවය නිසාමය.

 

පසු කාලීනව ආරම්භ වූ වර්ගවාදී, ජාතිවාදී ඊළාම් යුද්දයේදීද ශ්‍රී ලංකාවේ සිංහලයින් පමණක් ඉස්මතු වෙමින් දෙමළ ජනයා පාගා දමමින් සිංහල කම මුදුන්පත් කිරීමට වෙහෙසුන හැටි මට මතක් වේ. එහෙත් එවකට යුද්දය අරබයා ලියවූ විවිධ සාහිත්‍ය කෘතීන් පමණක් නොව ගීත වලින්ද කියැවුනේ එකම රටක්, එකම ජාතියක් ආදී සංකල්පයන්ය. නමුත්, එය ප්‍රායෝගිකව යොදා ගැනීමට කිසිවෙකුත් උනන්දු වූයේ නැත. එකම රටක් තුල ජන වර්ගයා දෙකට බෙදී යුද වදිද්දී එම යුද ගිනි නිවීමට උත්සහ කරනු වෙනුවට දේශමානය, ජාතිමානය උතුරා යන සටන්පාඨ වලින් සමාජය සන්නද්ධ වූහ. එයද සිංහලයා මුල් කරගත් සටන් පාඨ වලිනි. එහෙත්, එම ක්‍රියාවන් තුලින් ශ්‍රී ලාංකීය ජාතියක් කියන සංකල්පය ඉස්මතු වීමට වඩා කැපී පෙනුනේ සිංහල ජාතියේ උදාරත්වය පමණි.

 

මෙම තත්වය හමුවේ ඇති ගැටලු කිහිපයකි. එනම්, සිංහල වූ අප මෙන්ම මේ රටට ආදරය කරන සහ එකම ජාතියක් යන හැඟීම ඇති දෙමළ, මුස්ලිම් සහ තවත් ජන කොටස් සිටින බැවිනි. නමුත්, සිංහලයා පමණක් උදාර කරමින් ගීත ගැයෙද්දී සටන් පාඨ ලියවෙද්දී දෙමළ, මුස්ලිම් ජනයා හට එම අයිතිය ලැබී නැත. මේ රට අපේ යැයි හඬගා කීමට සිංහලයාට හැකි වූවත්, එකම රටක් තුල වෙසෙන දෙමල සහ මුස්ලිම් අයට එසේ කීමට බැරිය. නිකමට හෝ අවංකවම ජාතිමාමකත්වයෙන් මෙය අපේ රට යැයි දෙමලෙකු හෝ මුස්ලිම් මිනිසෙකු පැවසුවහොත් තත්වය කෙබඳු වේදැයි මදක් සිතා බලන්න. එහෙත්, ඒ අයිතිය එකම රටක පුරවැසියන් වූ අපට මෙන්ට ඔවුන්ටද එක හා සමානව හිමි විය යුතු බවට පිළි ගැනීමට තබා සිතීමට වත් සිංහල අප උත්සහ කරන්නේ නැත.

 

දෙමළ ජනයා මෙරටේ හුදෙකලාවූ ජන කොටසක් බව විවිධ පාර්ශ්ව චෝදනා කරද්දී ගැටලුවට නිවැරදි පිලියම් යොදනවා වෙනුවට සංකේතමය වෙනස්කම් පමණක් සිදු කිරීමට පාලකයෝ පියවර ගත්හ. දෙමළජනයා දමිල වූයේ එසේය. දේශපාලනික වශයෙන් ඔවුන්ට හිමි නිසි තැන ලබා දෙනවා වෙනුවට සීනිබෝල ක්‍රියාමාර්ග මගින් ඔවුන් රැවටීමට ගත් උත්සහයේ ප්‍රතිපල වල අදටත් වෙනසක් සිදුවී නැත. ශ්‍රී ලාංකික ජාතියක් තුල සිංහල දෙමල මුස්ලිම් වශයෙන් බෙදීමක් ඇතිකර සමාජ මට්ටම් එකම තලයක නොපිහිටා අසමාන අයුරින් සැළකීම පාලකයාගේ දේශපාලනික වාසි වෙනුවෙන් යෙදූ උප්පරවැට්ටියක් බව උදාර යැයි බෙරිහන් දෙන සිංහල අපිද වටහා නොගැනීම කණගාටුවට කරුණකි.

 

පුංචි උදාහරණයක් මගින් මෙම තත්වය හඳුනා ගැනීමට උත්සහ කරමු. එය මෙසේය…

 

ඔබ ඔබගේම නෑදෑයෙකුගේ නිවසක නැවතීමට යන බව සිතන්න. එහි ගොස් ඔබ බලාපොරොත්තු වන්නේ ඔවුන් හා සතුටින් සමාදානයෙන් සිටීම බව ඒකාන්තයෙන්ම පිලිගන්නා කරුණකි. ඔවුන් ඔබගේ නෑදෑයන් වන්නේ ඔබගේ පවුලේ ඇති බැඳීම මතය. එහෙත්, එම නිවසේ අය ඔබට සළකන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ නිරන්තර අවධානයෙන් පසුවේ. ඔවුන් කෑමට ගෙනෙන දේ ඔබට නොදී තනියම භුක්ති විඳිනවානම්, ඔබට නවාතැන් ගැනීමට නිවසින් බැහැර හෝ හුදෙකලා තැනක් පිළියෙල කර දෙනවානම්, ඔබගේ පහසුකම් ගැන සැළකීමක් නොදක්වනවා නම්, ඔබ රූපවාහිණිය හෝ වෙනත් යමක් පාවිච්චි කරන විට එය ඔවුන්ට ඕනෑ වෙලාවට පමණක් ක්‍රියාත්මක කරනවානම්, ඔබ එම පවුලේ අය සමග සම්බන්ධ කර නොගෙන ඔබට වෙනස්ව සළකනවානම්…. ඔබේ මානසික තත්වය කුමක් වේද..??

 

එලෙසම සිතා බලන්න මේ රටේ අනෙකුත් ජන වර්ගයා ගැනත්. ඔවුන්ට මේ රටේ පුරවැසිකම ලබාදී ඇත්නම්, ඔවුන් මේ රටේ නීත්‍යානුකූල පදිංචි කරුවන් නම් ඔවුන්ටද සමානව සැළකීම අනිවාර්ය මෙන්ම සදාචාරසම්පන්න ක්‍රියාවකි. එසේ නොමැති කල  ඔබට සිය ඥාතියාගේ නිවසේ ඇතිවූ තත්වයම ඔවුන්ටද ඇති වනවා නොඅනුමානය. මන්ද යත්, මේ රටේ ඥාතීත්වය ඔවුන්ටද බැඳී ඇති බැවිනි. එහෙයින් එකම රටක් තුල සියලු ජනයා සමානව සළකනවා විනා සිංහල ජාතිය පමණක් උසස් යැයි පැවසීම යුක්ති සහගත නොවේ.

 

එහෙත්, ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම් හෝ දෙමළ අයවලුන් සිංහලයාට හානිදායක හෝ සිංහලයා නැති කිරීමට උත්සහ දරන පිරිසක් වශයෙන් හැඳින්වීමක්ද දක්නට ඇත. නමුත් දීර්ඝ කාලයක් මුල්ලුලේ පවතින අඩු සැළකීම් තුල ඔවුන්ගේ දරුණු ඉස්මතු වීමක් අපේක්ෂා කල හැකි බවද අප සිහි තබා ගත යුතුය. මන්ද යත්, ඔවුන්ද මේ රටේ පුරවැසියන් බැවිනි. ලංකාවේ උතුම්, උදාර, ශ්‍රේෂ්ඨ…. ආදී වචන වලින් හඳුන්වාගනු ලබන සිංහලයින් ඔතරම් උතුම් නම් අන්‍යයන් හට අපිට එසේ හානියක් කිරීමට හැකි වේද..? කිසිම විටෙක බලසම්පන්න ජාතියකට හානියක් කිරීමට සුලු ජාතියකට හැකි වේද..? එය සිනා උපදවන ප්‍රකාශයක්ම නොවේද..? මදක් සිතන්න………..

 

මෙය හුදෙක් පටු අරමුණු මුල් කරගත් දේශපාලනික උප්පරවැට්ටි විනා සැබෑවක් නොවන බව ඔවුන් ඇසුරු කරන සිංහලයින් හොඳින් දන්නා කරුණකි. මෙම දුර්මත සමාජයේ රෝපණය කරන්නේ පාලකයින්ගේ සුභසිද්දිය උදෙසා බව පසක් කර ගැනීමට නොහැකි සිංහලුන්ගේ උදාරත්වය ගැන මට ඇත්තේ කණගාටුවකි. සියලු ජනයා සහයෝගයෙන් සාමකාමීව සිටීම තරම් කොඩිවිනයක් ඕනෑම පාලකයෙකුට නැත්තේය. එහෙයින් හැකිතාක් සමාජය අවුල් කර ජනතාව අතර අසමගිය වෛරය පතුරුවා හැරීමට ඔවුන් හැකි සෑම උත්සාහයක්ම දරනු ඇත. එහෙත් ඒවා බුද්ධියෙන් විමසා බලා සුදුසු ලෙස ක්‍රියා කිරීම රටක සියලු පුරවැසියන් සතු යුතුකමක් හා වගකීමක්ද වන්නේය.

 

මේ ජාතිමාමක ගීත කිහිපයකි…

 

“සෙන්කඩගල පුර දළදා බුදුරැස් විහිදෙන තුරු නෑ වරදින්නේ..

සිංහලයන් හට සිංහල දේශෙට සරණයි දළදා සමිදුන්ගේ..”

 

” මේ උදාර ලංකා භූමියයි.. වීරදාර මා උපන් බිමයි..

මේක සිංහලුන් උපන් රටයි.. තේජමාන ජාතියේ නමයි..”

 

මෙම ගීත දෙස බලන්න.. මෙහි පළමු ගීතයෙන් කියවෙන අදහස අනුව දළදා හිමිගේ සරණ ලැබෙන්නේසිංහලයාට සහ සිංහල දේශයට පමණකි. එහෙත් බුදුන් වහන්සේ ජාති, කුල, ආගම් බේද නොසළකා සියලු සත්වයින්ට කරුණාව මෛත්‍රීය දැක්වූ බව සෑම දෙනාම දන්නා කරුණකි. විවිධ ජාතීන් වෙසෙන එකම රටක් තුල මෙවැනි ගීත ඇසෙන විට දෙමල හෝ මුස්ලිම් අයගේ ආකල්පය කුමක් වේද..? මේ අයුරින්ම ඔවුන් ගීතයක් නිර්මාණය කලා කියලා සිතමු.. එවිට සිංහල අපගේ ආකල්පය කුමක් වේද..? නිසැකවම ගැටුමකට මුල නොවේද..? ල‘කාවේ බහුතරය සිංහලයින් බව සැබෑවකි. නමුත් ඒ ජන අනුපාතයෙන් මිසක් ජාතියක් වශයෙන් උස් හෝ පහත්ව නොවේ. එහෙත් ඔවුන්ගේ සහ අපගේ ජනයා බෝවීම දෙස බලන කල ඔවුන් අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටී. නමුත්, අප සතු ඉඩම් ඔවුන්ට විකිණිම ප්‍රතික්ෂේප කරමින්, ඔවුන්ගේ ව්‍යාප්තිය අහුරාලමින් කටයුතු කිරීමට අප මැලි නොවේ. ඒ අපගේ සිංහල කම අංක එකේම තබා ගැනීමටම නොවේද..?

 

ඉන්පසු දෙවන ගීතය බලන්න..මේක සිංහලුන් උපන් රටයි.. තේජමාන ජාතියේ නමයි.. දැන් මේ තේජමාන ජාතිය ලෙස හඳුන්වන්නේ සිංහලයා පමණකි. එතකොට මේ රටේ වෙසෙන අනෙක් ජන වර්ග අයිති මොන කුලකයටද..? මේ ගැන ඔවුන්ගෙ සිතුම් පැතුම් කෙබඳු වේද..? මේ තුලින් අප නොදැනුවත්වම සිංහලයා කියන කුලකය මුදුන්පත් කොට අනෙකා පාගා දැමීමේ සියුම් මානසිකත්වයක් අප තුල ගොඩ නැගෙනවා නේද..? දැන් නැතත් යම් සිදුවීමක් වූ විට මෙම ගීත ඇසුන හොත් අපගේ ලේ ගමනාගමනය උච්ච වී අප ප්‍රචණ්ඩත්වයට පත් වෙනවා නොවේද..? එහෙයින් සියලු තත්වයන් මැනවින් අවබෝධ කර ගැනීම සියලූම පුරවැසියන් සතු යුතු කමක් සහ වගකීමකි. එකම රටක් තුල වෙසෙන සියලූම ජනයාට එකහා සමානව සැළකීමට අප සියලු දෙනාම කටයුතු කල යුතුය. බොහෝ ප්‍රෙද්ශ වල සිංහල සහ දෙමළ හෝ මුස්ලිම් අය අතර විවාහ පවා සිදුවී ඇත. එහෙත් කිසිදු විටෙක ඔවුන් තුල මේ බෙදීම ඇතිවී තිබේද..? නැත.. මන්ද යත්, ඒ ඔවුනොවුන් කෙසේ හෝ නෑදෑයන් බැවිනි. එසේ නැඳෑයින් ලෙස සැළකීමට හැකි වන්නේ නම්, එකම රටක් තුල සහජීවනයෙන් වෙසෙන්නට නොහැකි වී ඇත්තේ මන්දැයි මදක් සිතා බලන්න.

 

සියලු ජන කොටස් වෙසෙන මෙවැනි රටක හැසිරීම, භාෂාව, ආකල්ප සහ නිර්මාණද ඉතාම පරෙස්සමින් භාවිතා කල යුතුය. අතීතයේ පටන්ම මේක සිංහලයගේ රට යැයි පාරම් බාමින් අනෙක් ජන කොටස් තලා පෙලා හුදෙකලා කිරීමට සැවොම උත්සහ කලද, එම උත්සහයන්ගේ දරුණු ප්‍රතිපල අපි විටින් විට අත්විඳ ඇත. වර්තමාණයේ පවතින මුස්ලිම් ගැටලුවද මෙයාකාර වේ. එසෙනම් සිංහල පමනක් මෙහි රඳවා අනෙක් සියලූම ජන කොටස් මෙරටින් පිටුවහල් කල යුතුය. එවිට සිංහල කම ගැන ඕනෑ තරම් පාරම් බාන්නට හැකිය. එහෙත් සියලු ජන වර්ගයන් එකට ජීවත් වන ශ්‍රී ලංකාවේ සිංහල පමනක් උසස් යැයි සම්මත මෝඩ චූන් එක තම තමන් විසින් මධ්‍යස්තව විමසා බලා නතර කර නොගත හොත්, ඉදිරියේදී ඇතිවන මහා ව්‍යයසනයකට නතුවන මිනිස් ජීවිත ප්‍රමාණයට අපද වග කිව යුතු වන්නේය..

 

ඒ.එම්.එස්. වික්‍රම.

Advertisements

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s