ලිංගික කුහකත්වයේ ආදීනව..


ඔහු – “මල්ලී.. ජීවිතය කියන්නෙ හරි පුදුමාකාර ලස්සන දෙයක්. ජීවිතය හරියට විඳින්න ඕනෙ. ඔයා ඉගෙන ගන්න පවුල් ජීවිතය ගැන.  දැන් බලන්න මගේ පවුල් ජීවිතය දිහා. අපි කොච්චර සතුටින් ඉන්නවද.. මට මගේ වයිෆ්ව 100% ක් විශ්වාසයි. එයාටත් ඒ වගේ.”

මම – “එතකොට අයියට වයිෆ් ගැන කිසිම සැකයක් නෑ..??… එයාටත් ඔයා ගැන කිසිම සැකයක් නෑ??”

ඔහු – “නෑ.. අපි ගොඩක් අවබෝධෙන් ඉන්නෙ.”

මම – ”ඇත්තද… එහෙනම් මරු. ඒක නෙවෙයි අයියේ.. ඔයාට පුලුවන්ද ඔයාගෙ වයිෆ් ඉස්සරහ වෙන කෙල්ලෙක්ව වර්ණනා කරන්න… එයාගෙ ඇඟ ගැන.. ගතිගුණ ගැන එහෙම..? කොටින්ම එයා එක්ක සෙක්ස් කරන්න ඔයා ආසයි කියලා ඔයාගෙ වයිෆ්ට කියන්න ඔයාට පුලුවන්ද..??

ඔහු – ” පිස්සුද යකෝ.. ඒවා කියන්න ගියොත් එහෙම ගෑනි මගේ ඔලුව කයි.”

මම – ” එතකොට වයිෆ් එහෙම දෙයක් කිව්වොත් ඔයා මොකද කරන්නෙ..?”

ඔහු – ” පිස්සුද මල්ලී.. එහෙනම් එදාට තමයි ගෑනි මම කවුද කියලා දැනගන්නෙ. හලනවා දත් ටික එතනම”

මම – ” හී..හී.. එහෙනම් මොකක්ද අයියේ ඔයාලගෙ අවබෝධෙ……..??”

—————————————————————————————————-

ඒ මීට වසර ගණනාවකට පෙරාතුව, එක්තරා පුද්ගලයෙකු සමග ඇතිවූ කතිකාවකින් කොටසකි. ජීවිතය, සමාජය, පවුල් සංස්ථාව ගැන කොතරම් විශේෂණ පද යොදා ගනිමින් කතා කලද, බොහෝ අයගේ ජීවිත වල ඇතුලාන්තය සැකසී ඇත්තේ එක්තරා රාමුගත සංස්කෘතියකට හෝ රටාවකට අනුගතවී බව කවුරුත් නොදන්නා සත්‍යය වී ඇත.

විශේෂයෙන්ම පෙම්වතුන් යවලක් හෝ අඹුසැමියන් අතර මෙම තත්වය බොහෝ දරුණුවට ඇවිලෙන ගින්නක් බඳුය. නමුත් එය පිටතට නොපෙන්වීමට ගන්නා උත්සාහය කොතරම්ද යත්, සතුට සොම්නස යන කෘතිම මානසිකත්වයක් යටතේ දෙපාර්ශ්වයම ජීවත් වීම දැකිය හැකිය. මෙම තත්වයට හේතුව කුමක්ද යන්න මම ඉහත කී සිදුවීම නිසාම සෙවීමට පටන් ගත්තෙමි. බොහෝ අයවලුන්ගේ පුද්ගලික ජීවිතයේ ඇතුලාන්තයටම ගොස් සොයා බැලීමට මට අවශ්‍ය විය.

දිවා රෑ නැතිව තනිවම කල්පනා කර පුද්ගලයින් අතර එකිනෙක සිදුවීම් ගලපා ඒවා පොදු සහ විශේෂිත කාරණා ඔස්සේ පෙලගස්වා බලමින් ස්වභාවික මිනිස් ජීවිතයට ඇතුලු වූ කෘතිම බාධකය කුමක්දැයි සෙවීමට මම උත්සහ ගත්තෙමි. ඒ සඳහා විවිධ පුද්ගලයින් රාශියක් සමග කතාබහ කර ඔවුන්ට නොදැනෙන්නට ඔවුන්ගේ පුද්ගලික ජීවිත තුලට රිංගා බැලීමට මට හැකියාවක් ලැබුණි.

විශේෂයෙන්ම මෙම සමීක්ෂණය සඳහා විවිධ වයස් සීමාවල සහ සමාජ ස්තර වල සිටින අයවලුන් යොදා ගැනීමට මා අදහස් කල අතර, කාන්තා පාර්ශ්වයෙන් ඊට ලැබුනේ ඉතාමත් දුර්වල ප්‍රතාචාරයන්ය. ඇතැම් විට අවශ්‍ය කරුනු ලබා ගැනීම උදෙසා කාන්තාවන් සමග ප්‍රේම සම්බන්ධතා සහ වෙනත් සම්බන්ධතා පවා ඇතිකර ගැනීමට මට සිදු විය. මිතුරියන් ලෙස බොහෝ සුහදව ඇසුරුකල කාන්තාවන් මා කුපාඩියෙකු, සල්ලාලයෙකු වශයෙන් හඳුන්වා ඇති බවද මට දැන ගන්නට ලැබුනි. එයින් බොහෝ දෙනෙකු ෆේස්බුක් මගින් දැන හඳුනා ගත් තර කතා බහ සිදු වූයේද මේ හරහාමය. එනිසා ඇතැම් අය මා බ්ලොක් කර දැමීමටද කටයුතු කල බව කිව යුතුය.

කෙසේ වෙතත්, ලංකාවේ සමාජය තුල ජීවත් වන සියලු මිනිසුන්ගේ ඕනෑම ප්‍රශ්නයක මුලට ගොස් බැලීමේදී ඒවා මතුවී ඇත්තේ ලිංගිකත්වය හා සම්බන්ධ කාරණාවකින් බව හඳුනා ගැනීමට මට හැකි විය. එයින් බොහෝ ගැටලු නිර්මාණය වී ඇත්තේ ලිංගික කුහකත්වය පදනම් කරගනිමිනි. මා මුලින්ම සඳහන් කල දෙබස් කාණ්ඩයේත් ඇත්තේ එවැන්නක් බව ඔබට දැන් වැටහෙනවා ඇතැයි සිතමි.

ලංකාවේ සංස්කෘතිය හා බැඳුනු පරිසරයක් තුල සියලූම පුද්ගලයින් සෑදී ඇත්තේ එකම රාමුවක් තුල වීම වීෂේශත්වයකි. කවුරු කොහොමත් මතුපිටින් කතා කලද, ඔවුන් මෙහෙය වන්නේද එකී සමාජ සංස්කෘතිය විසින්මය. බහුතරයක් දෙනා කටයුතු කරන්නේ එකී සංස්කෘතියේ වහලුන් ලෙසය. එහෙත් මානසිකව සියුම් වේදනාවකින් සදාකල් පෙලෙන්නෝද වෙති. විශේෂයෙන්ම විවාහක යුවලක් සහ විවාහ වීමට සිටින දෙදෙනකු සහ පෙම්වතුන් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයවලුන්ද සූදානම් වෙන්නේ ඉහත කී සමාජ සංස්කෘතික වටපිටාවක් තුලය. ඔවුන්ගේ දැක්ම සහ ආකල්පයන් එම සීමාව අතික්‍රමණය කිරීමට ප්‍රමාණවත් නැති බවද පෙනී යන කරුණකි.

මා මුලින් සඳහන් කල පුද්ගලයාගේ පවුල් සංස්ථාව තුලද එකී තත්වය කාටත් රහසේ පැලපදියම් වී ඇති ආකාරය බලමු. ඔහු කියා සිටින්නේ ඔවුනොවුන් මනා අවබෝධයකින් සිටින බවකි. කුමක්ද මේ අවබෝධය..? බොහෝ අය සිතනුයේ තමන්ගේ බිරිඳ හෝ සැමියා කැමති අකමැති දේ සහ කරන කියන දේවල් ගැන මතුපිටින් තමන් දැන ගැනීම අවබෝධය කියාය. එහෙත් එය ඊට එහා ගිය සංකීර්ණ තත්වයක් බව කිව යුතුය. එසේ ඔවුන් කියනා ආකාරයට කෙරතම් අවබෝධයෙන් සිටියද, දෙදෙනෙකු එක්ව ජීවත් වීමේදී ඔවුන් ක්‍රියා කරන්නේ තම තමන් රිසි දේවල් බොහොමයක් අනෙකා වෙනුවෙන් පරිත්‍යාග කිරීමෙන් නොව, සඟවා තබා ගැනීමෙනි. එයට උදාහරණද බොහෝය.

මගේ යහලුවෙක් යුග දිවියට අවතීර්ණ විය. බොහෝ කලක් ඇසුරු කල ඔවුන් දෙදෙනා විවාහ වූයේ ඉතාමත් සතුටෙනි. එහෙත් වසරක් පමණ ඉක්ම යෑමේදී දෙදෙනා අතර සුලු සුලු ආරවුල් ඇති වී එය පසුව මහ පරිමාණ ගැටුම් දක්වා දුර දිග ගියේ ඉතාමත් වේගයෙනි. පසුව ඔවුන් දෙදෙනාගේ ගැටලුවට ඇහුම්කන් දීමට මට අවස්තාවක් ලැබුනි. දෙදෙනාගේන් වෙන වෙනම සාකච්ඡා කර  ලබාගත් තොරතුරු අනුව දෙදෙනාටම ඇත්තේ එක හා සමාන ප්‍රශ්න කිහිපයක් බව මම නිරීක්ෂණය කලෙමි. ඒ අනුව දෙදෙනාටම ඇත්තේ සැකයක් නොවන සැකයකි. එනම්, දෙදෙනා කොතරම් සතුටින් කාලය ගත කලද එකිනෙකාගේ හිත් තුල ඇත්තේ අනෙකා තව කෙනෙකුන් හා කිසිම් ඇසුරක් පවතින්නේද යන්න ගැන කුතුහලයකි. එය යම් යම් අවස්තාවල තීව්‍රර වන්නේ දෙදෙනාගේ හැසිරීම් රටා ගැන ඔවුනොවුන් නිතර ස්වයං නිරීක්ෂණයක යෙදී සිටින නිසාය.

එම නිරීක්ෂණයන් තම සිත තුල තෙරපෙන චිත්‍රයට සමපාත කර ගැනීමට වෙහෙස මහන්සි වීමේදී එම තත්වය උග්‍රවී ගැටුමක් නිර්මාණය වේ. ඇතැම් අවස්තාවල එම නිරීක්ෂණය මගින් ලබා ගත් චිත්‍රය තම සිතේ ඇති සැකයට කිසි සේත්ම නොපෑහෙන අවස්තාවලදීද එය කෙසේ හෝ සමාන කර තමන්ගේ සිතැඟි අනුව අනෙකාට දොස් පැවරීමට නිරන්තර උත්සාහයක යෙදේ. මෙයට හේතුව ලෙස, ලිංගික කුහකත්වය දැක්විය හැකිය. දෙදෙනා ආදරය කරන කාලයේ කිසිවක් නිසියාකාරව කතාබහ කර නැත. කතා කලත් එය ඉතාමත් සීමා සහිත පරාසයක වීමද මෙයට හේතුව වේ. එය තව දුරටත් මෙසේ විග්‍රහ කර බලමු..

ආදරය කරන කාලයේ දෙදෙනාගේ එකම බලාපොරොත්තුව වන්නේ කෙසේ හෝ සිය ආදරවන්තයා හෝ ආදරවන්තිය තමන් වෙතම නතු කර ගැනීමය. ඒ සඳහා සිය ජීවිතයේ එතෙක් පැවත ආ රටාවන් පමණක් නොව, සිය ගති ගුණයන්ද වෙනස් කරගන්නා පිරිමින් සහ කාන්තාවන් දැකිය හැකිය. නමුත්, ඒ තම පෙම්වතා හෝ පෙම්වතිය තුල තමා කෙරෙහි සතුටුදායක ආකල්පයක් ඇතිකර වීමට විනා සැබෑ ලෙසම සිතාමතා නොවේ. බොහෝ විට සිදු වන්නේ එසේ හදිසියේ තම චරිත ස්වභාවය අනෙකා ඉදිරියේ වෙනස් කර පෙන්වීම නිසා පසුව එය නැවත ලබා ගැනීමට නොහැකි වීමයි. එහෙත්, තමන්ට උරුම චරිත ස්වභාවය හෝ හැසිරීම් රටා මෙන්ම සිතුම් පැතුම්ද පූර්ණ වශයෙන් වෙනස් කර ගැනීමට කිසිවකුට නොහැකි වන්නා සේම ඇතැම් අවස්තාවන් වලදී තමන්ටද නොදැනීම ඒවා ඉබේ ක්‍රියාත්මක වීම මෙම අර්බුදයට හේතු වන්නේය.

ඕනෑම ආදරවන්තයින් දෙදෙනෙකුට ඇති ප්‍රධානතම හතුරා වන්නේ තවත් තුන්වැනි කෙනෙකුන්ය. එම නිසා තමන්ගේ ආදරය තුන් වැන්නෙකු අතට පත්වීමට ඉඩ නොදීමට ඕනෑම ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට කිසිවෙකුත් මැලි නොවෙති. එනිසා තමන් පාරිශුද්ධ පුද්ගලයෙකු යැයි පෙමිවතියට ඇඟවීමටත්, ඇය එලෙසින්ම පෙම්වතාට ඇඟවීමටත් ගන්නේ දැඩි පරිශ්‍රමයකි. ඇතැම් අයට සිය ආදරය වෙනුවට තවත් අාදර සම්බන්ධතාවයක් ඇත. සමහරුන්ට එකකට වඩා ඇත.. එවැනි තත්වයක් තුල, එකී පෙම්වතුන් රාශියක් හෝ පෙම්වතියන් රාශියකගෙන් තමන් වඩාත් කැමති කෙනාව රැක ගැනීමට කොතරම් මහන්සියක් ගන්නවාදැයි ඔබට සිතෙවා ඇත.

එසේ කිහිප දෙනෙකු වෙත තම ප්‍රේමය පුද කරමින් සහ ඔවුන්ගේ පහස ලබමින් ජීවත් වන අයවලුන් නිරන්තර උත්සාහයක යෙදෙන්නේ එකිනෙකාගෙන් සිය සම්බන්ධතා වසන් කරගෙන සිටීමටය. එහෙත් සම්බන්ධතා අතහැර දැමීමටද කිසි විටෙක කැමැත්තක් නොදක්වති. එහෙයින් තමන්ගේ වඩාත් ආකර්ශණය දිනාගත් තැනැත්තා හෝ තැනැත්තියගේ සිත දිනා ගැනීමට හෝ විවාහ වීමේ බලාපොරොත්තුව යතාර්තයක් බවට පත් කිරීමට ඔවුන් පෙරකී පරිදි සිය ස්වභාවය ඒ ඒ කෙනා අනුව වෙනස් කර ගන්නවා  මෙන්ම අනෙක් සම්බන්ධතා ඉදිරියේද එවැනිම රංගනයක නිරත වෙති.

මෙසේ බොහෝ වෙහෙස මහන්සියෙන් පවත්වාගෙන යන ආදරයේ ඇත්තේ වංචාකාරී ක්‍රියා පිළිවෙතක් බව කිසිවෙකුත් පිළිගැනීමට කැමැත්තෝ නොවෙති. එහෙත් මා ලද අත්දැකීම් හා නිරීක්ෂණ අනුව බොහෝ පිරිමින්ට කාන්තාවන් එක් අයෙකුට වඩා සිටිති. කාන්තාවන්ටද එසේ විශාල පිරිසක් නොවුනද එක් අයෙකු හෝ සිටිති. සත්‍යය එයයි. එහෙත් එක් අයෙකු කෙරෙහිම ආශක්ත අයවලුන් ද සිටිනා බව කිව යුතුය. ඔවුන් මේ ගැන කලබල විය යුතු නැත. එම නිසා අද සමාජයේ වෙසෙන ඕනෑම පිරිමියෙක් දෙස කාන්තාවක් බලනුයේ එක්තරා න්‍යාය පත්‍රයකට අනුවය. එනම් ඕනෑම පිරිමියෙකුට එක් කාන්තාවකට වඩා සිටිතියි යන නිගමනය තුල හිඳිමින්ය. එසේ නැතිනම් ඕනෑම වේලාවක වෙනත් කාන්තාවක් කෙරෙහි සිත යා හැකි බවට අනුමාන කරමින්ය. පිරිමියා පැත්තෙනුන් එම තත්වය එසේමය.

එහෙයින් සිය කාන්තාව හෝ පිරිමියා තමාට පමණක් ආශක්තව සිටිතැයි විශ්වාසයක් කිසිදු කාන්තාවක් හෝ පිරිමියෙකු තුල නැත. ඇතොත් එය හුදෙක් අන්ධ ආදරයකින්  මුසපත්ව සියල්ල අමතක කර තමා පමණක් මූලික කර ගත් ප්‍රපංචයක හිඳිමින්ය. එහෙත් බලාපොරොත්තු වෙන්නෙද එයයි. කෙසේ වෙතත් සිය සැබෑ තත්වය කිසිදු කෙනෙක් අනෙකාට විවෘත නොකිරීමට වග බලා ගනිති. එහෙයින් ආදරය කරන සමයෙහි කුමන තත්වයක් යටතේ වුවද හිත හදාගෙන ජීවත් වීමට එකඟ වූවත්, විවාහ වූ පසු එම මානසිකත්වය වෙනස් වේ. එයට හේතුව නම් තමන් අතින් සිය ආදරය ගිලිහෙන්නට දැන් අවස්තාවක් නැතැයි යන උපකල්පයන නිසාය. නැතහොත් කාන්තාවගේ රූපයට වශීවී විවාශ කරගත් නිසාය. නැත්නම් වෙනත් එවැනි හේතුවක් නිසාය. එහෙත්, විවාහයට පෙර සිදුවන සීමිත ආශ්‍රය සහ කායික සුවය විවාහයෙන් පසුව සිතැඟි පරිදි ඉටුවීමෙන්  කලින් තිබූ තරම් උනන්දුවක් ඇති වන්නේ නැත. ඒ තත්වය මත පදනම් වූ විවාහය නිසාම සිය සැමියා හෝ බිරිඳ වෙත කලින් තිබූ අවධානය මෙන්ම ලබැදියාවද තරමක් දුරට අඩුවේ.

එහෙත් එතුවක් කල් සඟවා ගනිමින් ආ සිය සැබෑ ස්වරූපය හෝ  අනෙකාට රහසිගතව පවත්වාගෙන ගිය සම්බන්ධතා ගැන  අනෙකාගෙන් වසන් කිරීමට එතරම්ම උනන්දුවක් ඇති නොවේ. එම නිසා තමන්ටද නොදැනීම එම චරිත ස්වභාවය මතු වීමට හැකිය. එවිට සිය සැමියාට හෝ බිරිඳට එතෙක් නොදුටු වෙනස් කම් සිය සහකරුගෙන් දැකීමට හැකි වේ. මන්ද, මෙතුවක් කල් ඒවා ආයාසයකින් වසන් කරගෙන සිටියා මිසක් ඒ ගැන වචනයකුදු හෝ කතාබහ නොකල බැවිනි. අන්න එතැන් පටන් කුමක් හෝ තේරුම් ගැනීමට අපහසු යමක් සිය සහකරුගේ මනසේ හොල්මන් කරන්නට පටන් ගනී. එම ඉඟිය අනුව තමන් මෙතෙක් සිය සහකරුගෙන් නොදුටු එම තත්වය කුමක් දැයි සොයා බැලීමට අනෙකා උත්සුක වෙයි. ආදරය කරන සමයට වඩා තත්වය උග්‍ර අතට හැරෙන්නේ මෙතැනදීය.

බොහෝ පිරිමින් දකින දකින කාන්තාවන් පස්සේ යමින් ඔවුන් තම වසඟයට ගනිමින් ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන (ලිංගික ඇසුර, මුදල්, වෙනත් ලාභ ප්‍රයෝජන) ගෙන පසුව අසරණ තත්වටද පත්කල අවස්තා ඕනෑ තරම් අප සමාජයෙහි දැකිය හැකිය. තවත් අය බොරුවට කාන්තාවන්ට සෙනෙහස දක්වා රටවාගෙන ලිංගික ඇසුර පමණක් ලබාගනී. එහෙයින් කාන්තාවන් රවටා ගනිමින් අල්ලේ නටවන ආකාරය දන්නා නිසාවෙන්ම තමන්ගේ පෙම්වතිය හෝ බිරිඳ දෙස බලන්නේද එවැනිම වූ මානසිකත්වයකිනි. එහෙයින් පිරිමියෙකු සමග කිසිදු සම්බන්ධයක් ඇති වීමට සමහර පිරිමින් සිය පෙම්වතියට හෝ බිරිඳට ඉඩත් නොතබති.

කෙසේ වෙතත් ආදරය කරන කාලයේදී තමන් අකමැතිනම් අතැර දැමීමට ඕනෑ තරම් ඉඩප්‍රස්තා ඇතත්, විවාහ වූ පසු එසේ කිරීමට නොහැකි වන බව දෙදෙනාම හොඳින් දන්නා කරුණකි. ලෝකෙට අඩබෙර ගසා ලොකුවට මංගල උත්සවයක් පවත්වා එක්තැන් වන යුවලක් පසුව සිය අඩුපාඩු නිසා ලෝකයට සිය ආරවුල් නිරාවරණය කිරීමට කිසිවෙකුත් පෙළඹෙන්නේ නැත. එහෙත් යම් ගැටලුවක් ඇත්නම් එයද කතා බහ කිරීමට තරම් තත්වයක් නැත්තේ ආදරය කරන සමයේදී ඒ සඳහා හුරු පුරුද්දක් නොලබා ප්‍රශ්න වසන් කරගෙන සිටීම නිසාය. එහෙත් සිය කුතුහලයේද වෙනසක් නොවන්නේ අනෙකාගේ හැසිරීම් රටාවන් දැන් ඉතාමත් ඕනෑකමින් අධ්‍යයනය කරන නිසාය. මෙවිට තමන් බලාපොරොත්තු වන පරිදි ප්‍රශ්ණයට පිළිතුර සෙවීමට පසුබිම සකසාගෙන නොමැති කමෙන් බොහෝ විට දෙදෙනාම මානසිකව තැවෙති.

මෙහි මූලික පියවරයන් වශයෙන් සිය සහකරුගේ දුරකතන ඇමතුම් වලට රහසේ සවන් දීම, කෙටි පනිවිඩ පිළිබඳ සොයා බැලීම, යන එන තැන් ගැන කුහුලෙන් යුතුව ප්‍රශ්න කිරීම සහ නිතර මුහුණ නරක් කරගෙන සිටීමට පටන් ගනී. මෙය සිය සහකරුට හෝ සහකාරිට ගෙන දෙන්නේ වෙහෙසකාරී තත්වයකි. මෙතෙක් තමන් ගැන එවැනි ලෙස නොබැලූ, නොඇසූ සිය බිරිඳ හෝ සැමියා දැන් මෙසේ සෙවීමට පටන් ගැනීම පිළිබඳව තම සිතේද ඇත්තේ නොසතුටකි. එහෙයින් කුමක් හෝ කටට එන කෙටි පිලිතුරක් ලබා දී වහාම එතැනින් ඉවත් වීමට බොහෝ අය උත්සාහ දරති. නැතිනම් බැන වදිති. මෙනිසාම සිය බලාපොරොත්තුව නිසියාකාරයෙන් ඉෂ්ට නොවීම නිසා අනෙකාගේ සිතේ ඇති වන්නේ තව තවත් කුතුහලය පිරි ප්‍රශ්ණ වැලකි. මෙසේ මෙම තත්වය දිගින් දිගටම පැවතීමෙන් දෙදෙනා අතර පෙර මෙන් සෙනෙහස ආදරය, කරුණාව, විශ්වාසය ආදිය පලුදු වී දෙදෙනා අතර ඇති වන්නේ ආරවුලකි.

තවත් පිරිසක් අතර මෙවැනි තත්වයක් නැතත්, ඔවුන් සතුටින් සමාදානයෙන් ජීවත් වන්නේ දෙදෙනා පමණක් එකට සිටින විට පමණි. ඒ අතර කිසිවෙකුත් ගැන සිතීම පවා තහනම් වේ. “එයා මගේ, එයාට මම විතරයි… නැතහොත් ඔයා අයිති මට විතරයි, ඔයාට ඉන්න ඕනෙ මම විතරයි… වෙන කුවුරුවත් ගැන හිතන්න පවා අවශ්‍ය නැතැයි යන මානසිකත්වයක් ඇති අයද බොහෝ සිටිති. ඔවුන් බොහෝ විට ආදරය කරන කාලයේ පටන්ම මෙම සීමාව තුල රඳවා තබා ගැනීමට උත්සාග ගනී. එහෙත් කොතරම් එය පීඩාකාරී වූවත්, සිය ආදරවන්තයා හෝ ආදරවන්තියගේ සිත සතුටු කරවීමේ අදහසින් හෝ ඇත්ටම එකඟවී දිවි ගෙවන අයද සිටී. මෙතනදී ඇතිවන තත්වය නම්, තමා හැර අන් කිසිම පිරිමියෙකු දෙස බැලීමටවත් කාන්තාවට ඉඩක් නොතැබීමයි. පිරිමියාටද එසේමය. එහෙයින් දනේනාට දෙන්නා ජීවත් වන්නේ බොහෝ පරිස්සමෙනි.

එහෙයින් තම පෙම්වතා  සමග සිටින විට සිය සහලුවෙකු සමග හෝ කතා කිරීමට කාන්තාව බිය වෙති. ඇතැම් විට කොතරම් දන්නා හඳුනන පිරිමියෙකු වුවද නොදැක්කා සේ හෝ නොහඳුනන ආකාරයෙන් හැසිරීමට කාන්තාවට සිදුවේ. පිරිමින්ට එම තත්වය වඩාත් දරුණු ලෙස බලපා ඇත. සිය පෙම්වතිය සමග සිටින විට වෙනත් කාන්තාවක් දෙස බැලීම පවා විශාල ගැටුමකට හේතු වන කාරණයක් විය හැකි බැවින් බොහෝ පිරිමි සිටිනුයේ කසාය බිව් ගොලුවන් සේය. එහෙත් හැඟීම් හිරගත කර නොහැකි තැන වැරදිලාවත් බැලුනහොත්  “තමුසෙ මොකටද ඒ ගෑනි දිහා බැලුවේ..?,  තමුසෙට මම ඉන්නකොටත් වෙන ගෑනු දිහා බලන්නැතුව ඉන්න බැරිද..? ආදී වාග් ප්‍රහාර විඳීමට සිදුවේ. කාන්තාවන්ටද මෙම තත්වය බලපාන බව කිව යුතුය. නමුත් ඔවුන් දෙදෙනාගෙන් දුරස්ව සිටින අවස්තාවන් වලදී වැඩි වැඩියෙන් සිය නිදහස සෙවීම දැකිය හැකිය.

එහෙත් දෙදෙනාම තේරුම් ගත යුතු සත්‍යයක් ඇත. එනම්, මිනිසා යනු ස්වභාවයෙන්ම ලිංගික සත්වයෙකි. ඕනෑම පිරිමියෙකුගේ සිතේ කාන්තාවන් කෙරෙහි ආකර්ශනයක් පවතී. ඔනෑම මොහොතක පිරිමියෙකුගේ සිතේ කාන්තාවක් පිළිබඳ හැඟීමක්, රාගයක් ඇති වීමට හැකිය. එය ස්වභාවික සංසිද්දියකි. සිය වර්ගයා බෝ කිරීම සඳහා ස්වභාවයෙන්ම ලැබී ඇති එම හැඟීම් සමුදාය පාලනය කරගෙන සිටීම නූතන ශිෂ්ඨ සමාජ සංස්කෘතියේ කෘතිම රාමුවක් විනා එය ස්වභාවික නොවන බවද වටහා ගත යුතුය. පිරිමියෙකුගේ සිතේ කාමුක හැඟීම් ඇති වීමට තැනක් නොතැනක් නැත. එය ක්ෂණිකව සිදුවේ. බොහෝ විට කාන්තාවකගේ සිරුරේ ඕනෑම තැනක් දැකීම හෝ සිතීම පවා ප්‍රමාණවත් වේ. එහෙත් කාන්තාවන්ට එසේ වන්නේ නැත. ඔවුන්ට රාගික හැඟීම් ලෙහෙසියෙන් ඇති වන්නේ නැත. ඒ සඳහා වෙනත් කෙනෙකුගේ පෙළඹවීමක් බොහෝ විට අවශ්‍ය වේ. කිසිදු ආදරයක් සෙනෙහසක් නොමැතිව ඕනෑම මොහොතක ලිංගික ක්‍රියාවකට යොමු වීමට පිරිමියාට හැකියාවක් ඇත. එය ස්වභාවික දෙයකි. එහෙත් කාන්තාවන්ට එසේ වන්නේ නැත. එය ඉතාමත් සෙමින් පටන් ගන්නා අතර, කාන්තාවන් ලිංගික ක්‍රියාවන් සඳහා යොමු වීම බොහෝ විට ආදරය හරහා සිදුවේ.

කිසියමි කඩවසම්  පිරිමියෙකු දැකීම කාන්තාවකට එතරම් දෙයක් නොවුනද, රූමත් කාන්තාවක් දැකීම පිරිමියෙකුට නම් රසඳුනක් වැනිය. කාන්තා සිරුරේ ඇති විශේෂ ආකර්ශණීය බව නිසා ඕනෑම පිරිමියෙක් ඇසිපිය නොහෙලා බලා සිටින්නේ එහි ඇති කාමුකත්වය මුසු වූ සුන්දරත්වය නිසාමය. එහෙත් කාන්තාවකට පිරිමියෙකු ගැන එවැනි හැඟීමක් පහල වන්නේ නැත. සමහර කාන්තාවන් දෙස බලන පිරිමින්ට වෙනත් කාන්තාවක් පවසන්නේ ” මොනාද එයාගෙ එච්චර බලන්න තියෙන්නෙ… එයාට තියෙන දේවල්මයි මටත් තියෙන්නෙ. මොකක්ද ඒකෙ ඇති විශේෂත්වය..?” ආදී ප්‍රශ්නාර්ත සමගිනි. එහෙත් මා කලින් සඳහන් කලාක් මෙන් කාන්තාවකගේ සිරුරේ ඕනෑම අංගයක් වෙත පිරිමියෙකුගේ ආකර්ශනය යොමු විය හැකිය. එය වචනයෙන්  විස්තර කල නොහැකි හැඟීම් සමුදායකි. බොහෝ විට එය කාමුක හැඟීමකි. මෙලෙස මිනිසාගේ චර්යාවන් සැකසී ඇති වටපිටාවක ඒවා තාවකාලිකව වසන් කලාට කිසිදු පලයක් නැත.  ඒවා නිසියාකාරයෙන් වටහාගෙන කටයුතු කිරීමයි විය යුත්තේ.

මා මුලින් සඳහන් කල කාරණයට අනුව එම පුද්ගලයාට සිය බිරිඳ සමග සිටින අවස්තාවල වෙනත් කාන්තාවක ගැන කතා කිරීමටවත් හැකියාවක් නැත. එසේ සිදුවීමට හේතුවී ඇත්තේ මා මුලින් සඳහන් කලාක් මෙන් සිය හිතැඟී අනෙකාගෙන් වසන් කරමින් ජීවත් වූ නිසාය. දෙදෙනාට දෙදෙනා 100% ක් විවෘත විය යුතුය. ඕනෑම දෙයක් ගැන සාකච්ඡා කිරීමට හැකි විය යුතුය. එයට අවශ්‍ය පරිසරය දෙදෙනාම විසින් මුල සිටම සකස් කර ගත යුතුය. පිරිමියෙකුගේ සිත ක්‍රියා කරන ආකාරය ගැන මනා වැටහීමක් කාන්තාව විසින් ලබා ගත යුතුය. කාන්තාව පිළිබඳව පිරිමියාටද එසේමය. දෙදෙනාගේ රුචි අරුචිකම් ගැන විවෘතව කතාබහ කල යුතුය. ඒවා වෙන වෙනම තේරුම් ගැනීමට අත්‍යාවශ්‍ය කාරණයකි. එසේ නැතහොත් සිදුවන්නේ සිය හැඟීම් දැනීම් පිලිබඳව අනෙකා නොදැනීමය. එවිට තමන්ට කොතරම් ආශා හිතෙන කාන්තාවක් දෙස වූවද බැලීමට හැකියාවක් නැත. එසේ වැරදිලාවත් බැලුව හොත් සිදුවන්නේ මහා අර්බුදයකි.

මෙසේ වෙනත් කාන්තාවන් දෙස බැලීමට අවශ්‍ය වන්නේ මන්දැයි කෙනෙකු විසින් පැනයක් නගනු ඇත. මා මුලින් සඳහන් කලාක් මෙන් මිනිසා යන ලිංගික සත්වයාගේ අවශ්‍යතා අනුව එය නිර්මාණය වී ඇත. එම නිදහස නොලැබීමෙන් විවිධ මානසික පීඩා හට ගැනීම සිදුවේ. එසේ මිනිසාට හිමි නිදහස අපි සීමා කරගෙන හිරකර සිටින්නේ ඇයි..? එය කිසිදු පදනමකින් තොර ක්‍රියාවකි. මිනිසාට මිනිසා සතු මානසික නිදහස ලැබිය යුතුය. මම නම් එසේ නැතැයි බොහෝ පිරිමින් පුරසාරම් දොඩවති. නමුත් කොයි පිරිමියාත් පිරිමියෙකි. ඒ එක උදාහරණයක් පමණි. විවිධ හේතු තව ඇතත්, ප්‍රධාණම කරුණ බැඳී ඇත්තේ ලිංගිකත්වය සමගිනි. දිනක් මේ පිළිබඳව මා හිතවත් කෙනෙකු සමග සාකච්ඡාවක නිරත වී සිටියෙමි.

ඔහු – මම බැඳලා දැන් අවුරුදු 4 යි. ඒත් මටවත් තාම වයිෆ් ඉස්සරහා වෙන කෙල්ලෙක් දිහා බලන්න බෑ. එහෙම බැලුවොත් ඉවරයි. එපා වෙනවා බං.

මම – ඇයි එයා මොකද කියන්නෙ?

ඔහු – අපෝ.. දාහක් දේවල් කියයි. ඇයි මම ලස්සන නැද්ද දැන් වෙන කෙල්ලො දිහා බලන්නෙ… තමුසෙට එක ගෑනියෙක් මදිද… බැඳලත් තාම විසේ… මොන කුපාඩි කමකට බලනවද මන්දා.. මොනවද ඔච්චර පෙරේත ගෑනුන්ට…?? ඔය වගේ අහගෙන ඉන්න බැරි දේවල් කියයි. එහෙම නැත්නම් දවස් ගාණක් මූන එල්ලගෙන ඉදීවි.

මම – ඔව්.. ගොඩක් අය එහෙමයි. එහෙම කියන්නෙ එයාට ඔයා ගැන හරිහැටි වැටහීමක් නැති නිසා. ඔයාගෙ ඕනෑ එපාකම් ගැන එයා හරියට නොදන්න නිසා. ඊටත් වඩා ඒක ආත්මාර්තකාමී හැඟීමක්. ලිංගික කුහකත්වය කියන්නත් පුලුවන්. දන්නවද මගේ ගර්ල් මට කියන්නෙ මොනවද කියලා..?

ඔහු – මොනවද ඉතින්.. ඊට හපන් විදියට කියනවා ඇති… (සිනාසෙමින්)

මම –  නෑ. කවදාවත් නෑ. එයා මුණගැසුන දා ඉඳන්ම එයාට මම බොරුවක් වංචාවක් කරලා නෑ. මගේ තත්වය, ආර්ථිකය, කැමති අකමැති දේ, ආසාවල්… ඔය වගේ හැම දේම මම එයා එක්ක කතා කරනවා. මම කලින් බඳින්න හිටපු කෙනා ගැන… ඒ දවස්වල විස්තර, වෙන වෙන හිත ගිය අය ගැන විස්තර, හිත ගිය හේතු.. ඔය වගේ දේවල් මම එයා එක්ක කතා කරනවා. එයාට පැහැදිලි කරලා දුන්නා ගෑනුන්ගෙයි පිරිමින්ගෙයි වෙනස. අපි ආස දේවල් මොනවද, එයාලා අස දේවල් මොනවද කියලා අපි කතා කලා. එයාට මම හැම දේම කියනවා. එයත් මට කියනවා. ඒ විශ්වාසය අපි ඇතිකර ගත්තා. මම එයාට පැහැදිලි කලා මට මගේ මානසික නිදහස තියෙන්න ඕන කියන දේ.

ඒ වගේම එයාට ඕන දේවලුත් එයා කිව්වා. ඒවා ගැන වෙන වෙනම අපි සාකච්චා කලා. එයා ආස දේවල්, අකමැති දේවල් අපි කතා වුනා. හැබැයි එයා කොහෙත්ම කැමති නැති දේවලටත් අන්තිමේදි කැමති වුනා. මමත් එහෙමයි. ඒකට හේතුව තමයි අපි යමකට අකමැති නිසා ඒ ගැන වචනයක් කතා කරන්නෙ නෑ. ඊට පස්සෙ ඒක වහ කදුරු ගානට දාලා ඉන්නවා. නමුත් ඒ ගැන සාකච්ඡා කලාම අපිට අපේ අකමැති දේ වෙනස් විදියට අපිට ඕන විදියට හදාගන්න අවස්තාවක් ලැබෙනවා. අන්න ඒ විදියට අපි අකමැති දේවලුත් වෙනස් කරගත්තා. ඒ නිසාම මට එයාගෙ ලගදි වෙන ගෑනියෙක් දිහා බලන්න විතරක් නෙවෙයි,. මොනදේ කරන්නත් බයක් සැකක් නෑ. එයාටත් එහෙමයි. ඒ නිදහස තියෙනවා. මම ඕන තරම් එයා ලගදි වෙන ගෑනුන්ගෙ මට හිත යන දේවල් ගැන කියනවා. එයා ඒකට හේතු අහනවා.. මම මට දැනෙන හේතු පැහැදිලි කරනවා. එයා කැමති නම් කැමතියි වගේම, අකමැතිනම් ඒකට හේතුවක් අපි කතා වෙනවා. ඒ ඇරෙන්න කිසිම හිත් රිදීමක්, සැකයක් නෑ. එතනදි අපි දෙන්නා අපේ අදහස් වගේම දැනුමත් හුවමාරු කරගන්නවා.

ඒ නිසා අපේ හිත් හරිම නිස්කලංකයි. සැහැල්ලුයි. මම එයාට නිදහස දීලා තියෙනවා ඕන තැනක යන්න, එයා කැමති කෙනෙක්ව අශ්‍රය කරන්න, කැමති දෙයක් කරන්න… හැබැයි එයා මුලින්ම මට හැම දේම කියනවා. කියලා මගේ අදහස අහනවා ඒ ගැන. මම මට දැනෙන දේ පැහැදිලි කරනවා ඒ තුල ඇති වාසි අවාසි, අනතුරු, පීඩා වගේ දේවල් ගැන. ඒ කියලා එයාට සුදුසු විදියට කරන්න කියලා මම එයාටම ඒ වගකීම පවරනවා. ඒ නිසා එයා පෙරටත් වඩා සැළකිල්ලෙන් උනන්දුවෙන් තමන්ගෙ වගකීම් යුතුකම් දැනගෙන ඒ අනුව කටයුතු කරනවා. එයාග හිත සැහැල්ලුවෙන් වගේම මගේ හිතත් සැහැල්ලුවෙන්. මොකක් හරි ගැටලුවක් ඒ හරහා ඇති වුනොත්, අපි මුලින් ඒවා ගැන කතාබහ කරලා තියෙන නිසා අපි දෙන්නම එකතු වෙලා ඒකට විසඳුමක් හොයාගන්නවා.

ඔහු – ෂා… මරුනේ.. මටත් එහෙම ගෑනියෙක් හිටියානම්…. (කලකිරීමෙන් කියයි)

මම – නෑ.. එහෙම හිතන්න එපා. ඔයාටත් ඉන්නෙ එහෙම ගෑනියෙක් තමයි. නමුත් ඔයාටත් මුලින් කරන්න තිබ්බ දේ ඔයා මගඇරලනෙ. දැන් කරන්න දෙයක් නෑ. දැන් ටික ටික ඒ තත්වය ඇතිකර ගන්න. වයිෆ් එක්ක හැම දේම කතා කරන්න. එයාට නිදහස දෙන්න. ඒක වල්බූරු නිදහසක් විදියට නෙවෙයි. උපක්‍රමශීලිව එයා ගැන හොයන්න. ඒක සැකේකට නෙවෙයි. වෙනත් අනතුරකින් එයාව බේරගන්න පුලුවන් එතකොට. ඒ වගේම දෙන්නා අතර හොඳ සන්නිවේදනයක් තියාගන්න. අදහස් පැහැදිලිව කියන්න.ගොඩක් ගෑනු ඔය වගේ අසික්කිත විදියට පිරිමින්ට සළකන්නෙ පිරිමිත් ඒ වගේම නිසා. ඒ වගේම හරිහමන් උපදෙසක් ගන්න කෙනෙක් නැති නිසා. මොකද ආශ්‍රය කරන්නෙත් ඒ වර්ගයේම අය. එහෙම වුනාම උපදෙස් ලැබෙන්නෙත් අන්තිම පහත් මට්ටමෙන්. පිරිමින්ටත් එහෙමයි. ඒකයි හේතුව.

ගෑනුන්ට තියෙන්නෙ ආත්මාර්තකාමී කම. ලිංගික කුහක කම. ඒක පිරිමින්ටත් තියෙනවා. නමුත් ගෑනුන්ගෙ ඒ ගතිය වැඩියි. අනික එයාලා බයයි පිරිමියා වෙන ගෑනු පස්සෙ ගිහින් තමන්ව අයින් කරලා දාවි කියලා. පිරිමිත් තමන්ගෙ බිරිඳ වෙන පිරිමින්ට මුණ ගැහෙන්න ඉඩ නොතියන්නෙ ඒ හා සමානම හැඟීමකින්ම තමයි. නමුත් එතන පොඩි වෙනසක් තියෙනවා. පිරිමියා බොහෝ දුරට වෙන ගැහැනු ආශ්‍රය කරන්නෙ විනෝදෙට. එහෙම නැත්නම් ආසාවට. එහෙමත් නැත්නම් පුරුද්දට… ඔය වගේ හේතු ගොඩක් තියෙන්න පුලුවන්. නමුත් තමන් විවාහ කරගත්ත බිරිඳට පණ වගේ ආදරෙයි. ඒත් බිරිඳ එක්ක තමන්ගෙ ආසාවල්, හැඟීම්, සහ ලිංගික අවශ්‍යතාවයන් තමන්ට රිසි පරිදි ලබාගන්න නොහැකි වුනාම බොහෝ විට වෙන ගෑනියෙක් වෙත පූර්ණ බැඳීමක් ඇතිකර ගන්න පුලුවන්.

එහෙම නොවන බොහෝ වෙලාවල් වලදි වෙන්නෙ විනෝදෙට. පිරිමි මොන දේ කලත් ආපහු ගෙදර එනවා. නමුත් ගෑනියෙක්ට ඒ නිදහස දෙන්න අමාරුයි. මොකද ගෑනු පිරිමියෙක්ව ආශ්‍රය කරන්නෙ බොහෝ විට මිතුරු කමම අරමුණු කරගෙන. ඒත් පිරිමියාගේ පෙළඹවීමකින් ඒක ඊට එහා ගිය දෙයක් වෙන්න පුලුවන් සම්භාවිතාවක් තියෙනවා. එහෙම වුනොත් ටිකක් තත්වය දරුණු වෙනවා. මොකද ගැහැනු ලිංගිකව එක් වෙන්නෙ ආදරෙත් එක්කයි. ඒ ආදරය තමන්ට ගොඩක් දැනුනොත් සමහර විට බැඳපු පිරිමියා එපා වෙලා අනෙක් කෙනාවම ලබාගන්න පුලුවන්. ඒත් පිරිමින්ට එහෙම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි පිරිමියා ගියොත් යන්නෙ තමන්ගෙ බැඳපු ගෑනි නිසාමයි.

මොකද ගෑනියෙක්ට ගෙදරක් පසන් නිවසක් කරන්න පුලුවන්… අපායක් කරන්නත් පුලුවන්. කල්පනාවෙන් නුවණින් වැඩ නොකලොත්, නිතරම කච කච ගානවානම්, වෙන ගෑනුන් පාවා දිදී නිතරම බනිනවානම් වෙන්නෙ නිකම්ම තමන්ගෙ ගෑනී යක්ෂණියක් වගේ පේන එක තමයි. ඒත් අනිත් ගෑනි තමන්ට ගොඩක් ආදරයෙන් සළකනවානම්, අවශ්‍ය ලිංගික සතුට නොඅඩුව ලබාදෙනවානම්, පිරිමියා නිකම්ම ඒ පැත්තට ඇදෙනවා. ගැහැනුන් දැන ගන්න ඕනෙ ඒ තත්වය පාලනය කරගන්න.. හැබැයි ඒක පටන් ගන්න ඕනෙ දෙන්නා මුලින්ම හමුවුන දවසේ ඉඳලාමයි. එහෙම නැත්නම් වැඩේ ලේසි නෑ.. ඒත් බැරි කමකුත් නෑ.

අනික තමයි ගැහැනුන් එයාලගෙ අනියම් සම්බන්ධතා ගැන තමන්ගෙ ලගම යාලුවාටවත් කියන්නෑ. ඒක අතිශය පුද්ගලික රහසක් විදියට රකිනවා. නමුත් පිරිමි බොහෝ විට එහෙම නෑ. ඒක වටේම පතුරනවා. මොකද කිසිම පිරිමියෙක්ට ගෑනියෙක් එක්ක සම්බන්ධයක් හදාගන්න ලේසි නෑ. ඒ අමාරු කම නිසාම ගෑනියෙක් සෙට් වෙනවා කියන්නෙ පිරිමින්ට ඒක මහා ලොකුම දෙයක්. ඉතින් තමන්ගේ හැකියාව ගැන මිතුරන්ට රස කරලා කියන්න පිරිමි කැමතියි. ඒ වගේම මිතුරන් අතරෙත් තමන් “පොරක්” වෙනවා. ඒකෙන් වෙන්නෙ අර අසරණ ගෑනු කෙනා මුලු ගමේම විතරක් නෙවෙයි, අද තාක්ෂණයත් එක්ක ලෝකෙම දැන ගන්නවා. ඒක ඊටත් වඩා විනාශයක්. කවුද කැමති තමන්ගෙ බිරිඳට හෝ පෙම්වතියට එහෙම දෙයක් වෙනවට..? නමුත් දෙන්නා අතර හොඳ බැඳීමක් තියෙනවානම්, එවැනි ගැටලු ඇති වෙන්නෑ. ඔයාටත් පුලුවන් දැන් ඉඳලා වුනත් ඔයාගෙ වයිෆ් එක්ක ඒ තත්වය ඇති කර ගන්න.

ඔහු –  ඇත්ත.. ඒක අපිට මුලින්ම කරන්න තිබුනා. නමුත් මම මින් පස්සෙ උත්සහ කරනවා.

මම – හරියට හරි. හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. තව දෙයක්, මගේ ගර්ල් දැන් අපි ඉන්නකොට වෙන ලස්සන කෙල්ලෙක් ගියොත් එයාම පෙන්නනවා.. අන්න ඔයා ආස විදියෙ කෙනෙක් යනවා කියලා.. ඒ අවස්තාව පුදුම සතුටක්, සැනසීමක් හිතට දැනෙන මොහොතක්. කෙල්ලෙක් දිහා හොරන් බලනවට වඩා මට නිදහස තියෙනවා හොඳට රස විඳින්න. ඒ වගේම ඒ සිතුවිලි මගේ ගර්ල් එක්ක බෙදාගන්න. එයාගෙ අදහස් දැනගන්න.. ඒක පුදුම වාසනාවක්. හොරෙන් බලලා බැනුම් අහනවට වඩා, නොබලා හිතේ හිරකරන් ඉන්න පීඩනේට වඩා මේක මාර සැහැල්ලු අවස්තාවක්. සමහර වෙලාවට එයා පෙන්නනවා හෙන මහත කලුම කලු ගෑනු කෙනෙක්..(අපහාසයක් නෙවෙයි)  මගෙන් අහනවා එයා හොඳද කියලා.. ඒ වෙලාවට දෙන්නම එක්ක හයියෙන් හිනාවෙලා ඒ මොහොත විඳීම තරම් සතුටක් මම හිතන්නෑ තවත් ඇති කියලා.

මට එයා ගැන කිසිම සැකයක් නැහැ. අපි කාගෙත් පෙර වැරදුන තැන් තියෙනවා. ඒවා දැන් අදාල නෑ. නමුත් ඒවයින් පාඩමක් අරගෙන ඉදිරිය හදාගන්න අපිට පුලුවන්. ගොඩක් දෙනෙක් හංගන දේ තමයි ලිංගිකත්වය. ප්‍රසිද්ධියේ තියා බැඳපු දෙන්නෙක් වත් විවෘතව කතා කරන්නෑ ඒ ගැන.  ඒ නිසාම බැන්දමත් ප්‍රශ්ණ. කවදාවත් විසදෙන්නෑ. හිතේ හිර කරගෙන ඉන්නවා. ඒ නිසාම මානසිකව පීඩාව නිසා පුංචි දේටත් ලොකුවට තරහා යනවා. ප්‍රශ්න දිග්ගැස්සෙනවා. අද ලංකාවේ දික්කසාද වලින් වැඩිම ප්‍රමාණයක් තියෙන්නෙ සෙක්ස් ප්‍රශ්න. හැම දේටම මුල සෙක්ස්. මතුපිටින් පේන කවරය කොහොම වුනත් ඇතුලාන්තයේ මුල සෙක්ස්. ලිංගිකත්වය තමයි ඕනෑම ගෑනු පිරිමි දෙන්නෙක් අතර බැඳීමක පදනම. විශේෂයෙන්ම විවාහයේ පදනම වෙන්නෙ සෙක්ස්. මගේ ගර්ල් දවසක් කියනවා .. අයියේ ඔයාට හිතුනොත් වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න ඔයා ගොඩක් විශ්වාස කෙනෙක් එක්ක හිටියට මට කමක් නැහැ. හැබැයි මට කියලා කරන දෙයක් කරන්න. මොනවා කලත් කමක් නෑ. ඔයා ආදරේ කරන්න ඔනෙ මට විතරයි.. ඔයා මනුස්සයෙක්. ඔයාටත් ඕන එපාකම් තියෙනවා කියලා මම දන්නවා.  ඒවා හිතේ හිර කරගෙන දුක් වෙන්න ඕනෙ නෑ. කාලයක් යද්දි එකම දේ වෙද්දි එපා වෙන්න පුලුවන්.. ඒ නිසා ඕනම දෙයක් මට කියන්න. මම ඔයාට නිදහස දීලා තියෙනවනේ. හැබැයි කිසිම දෙයක් මට හොරෙන් කරන්න එපා කියලා…..

ඔහු – නෑ….. මරුනේ.. හැබැයි එයාටත් චාන්ස් එකක් ගන්නද දන්නෑ එහෙම කියන්නෙ..

මම – මම ඇහුවා ඒක.. එහෙම කියලා පස්සෙ ඔයාටත් අරයා ඕනෙ මෙයා ඕනෙ කියයිද කියලා. එයා කියනවා……. නෑ අයියෙ. මට එහෙම උවමනාවක් නෑ.  මම හිතන්නෙ ඔයාගෙ සතුට ගැන. ඔයා සතුටින් ඉන්නවානම් අපේ ජීවිතේ ලස්සන වෙයි. අනිත් ගෑනු වගේ ඔයාව හිර කරලා තියන්න මට ඕනෙ නෑ. මම ඔයාගෙ ජීවිතේ සහකාරී. ඔයා පිරිමියෙක්.. මම දන්නවා ඔයාලගෙ අවශ්‍යතා… ඔයාගෙ ජීවිතේට මම ඇවිත් ඔයාට කරදරයක් වෙන විදියට ජීවත් වෙන්න මට බෑ. ඔයාගෙ නිදහස ඔයාට තියෙන්න ඕනෙ. ඔයා මට ඇති තරම් නිදහස දීලා තියෙනවනේ. මම ඒක අයුතු විදියට පාවිච්චි කරන්නෑ.. ඒ වගේම මමත් විශ්වාස කරනවා ඔයා ඔයාගෙ සීමාව සහ යුතුකම් වගකීම් දැනගෙන වැඩ කරයි කියලා………..එහෙමයි එයා කිව්වෙ. අපි අපිට අවශ්‍ය දේවල් හොරෙන් ලබාගන්න අවශ්‍ය නෑ. අපිට ගොඩක් සුහදව, යාලුවො වගේ කතාබහ කරලා අපේ ඕනෑ එපාකම් ගැන සාකච්ඡා කරන්න පුලුවන් තත්වයක් අපි දෙන්නා අතර තියෙනවා.  කොහොම වුනත් හොඳ කෙල්ලෙක් ලබන්නත් වාසනාවක් තියෙන්නත් ඕනෙ.

ඔහු – ඇත්තටම ඒක වාසනාවක්. ඒ වගේම හොඳ අවබෝධයක් දෙන්නා තුල ඇතිනම් කිසිම අවුලක් නෑ. ඕනම ප්‍රශ්නයක් විසදන්න පුලුවන්.

මම – ඔව් .. ඒ වගේම ඕනම ප්‍රශ්නයකට මුලත් ඕක වෙන්න පුලුවන්. ඒ නිසා හරිම පරිස්සමෙන් බුද්ධිමත්ව දෙන්නට දෙන්නා තේරුම් ගන්න උත්සහ කරන්න ඕනෙ. දන්නවනේ අර ඉතාලියේ කෙනාව බැඳලා මට වෙච්ච දේ. පුදුම පීඩනයකින්නෙ මම හිටියෙ. මිස් කෝල් එකක් කොහෙන් හරි එන්න බෑ… කෙල්ලෙක් වැරදිලාවත් කෝල් කරන්න බෑ… වෙන කෙල්ලෙක් එක්ක හිනා වුනත් ඇති එයාව පාවල දීලා බනින්න… මගේ ෆේස්බුක් එකට ලොග් වෙලා මගේ හිටපු හැම ගෑනියෙක්වම, කෙල්ලෙක්වම රිමූ කරලා…. සමහරුන්ට බැනලා….ඒ විතරක් නම් මදෑ… කොල්ලන්ටත් බැනලා… හම්මේ පුදුම කරුමයක්නෙ ඒක.. ඒ අතින් දැන් මට මගේ මැණික හම්බ වෙලා. මම පුදුම සතුටකින් ඉන්නෙ………..එසේ මම ඔහුට තත්වය පැහැදිලි කර දුනිමි. ඒ ආකාරයෙන්ම ඔහුගේ බිරිඳටද කරුනු පැහැදිලි කර දුන්නේ දැඩි වෙහෙසක් දරමිනි. එයින් පසු කාලයක් ගතවී ඔවුන් යලි මුණගැසුන අවස්තාවක මට දැනගන්නට ලැබුනේ දෙදෙනා පෙරටත් වඩා සතුටින් කාලය ගත කරන බවකි.

කෙසේ වෙතත් මා හට මෙම කරුනු රැස් කිරීම සඳහා බොහෝ වෙස මහන්සියක් දැරීමට සිදුවිය. මෙම සමීක්ෂණය නිසා ෆේස්බුක් හි මාව බ්ලොක් කල කාන්තාවන් තවමන් මා මිතුරු ලැයිස්තුවට එක්කරගෙන නැත. ඒ ඔවුන් මේ ගැන නොදන්නා නිසා යැයි මා සිතමි. තවමත් මා සමග අමනාප බොහෝ අය ඇති. කෙසේ වෙතත් ලාංකීය ජන සමාජය තුල පැලපදියම් වී ඇති විකාර රූපී සංස්කෘතිය තුල සිරවූ බොහෝ පිරිසක් මෙම තත්වයෙන් බොහෝ පීඩා විඳිති.. පවුල් උපදේශකයන් පවා අද උපදෙස් දෙන්නේ පවතින සම්ප්‍රදායේ සිරවූවන් ලෙසිනි. එහෙත් විසදුමක් නැත. නිසියාකාරව යතාර්ථය පහදා දීමට හැකිනම්, බොහෝ ගැටලු නිරාකරනය වනු ඇත….

ඒ.එම්.එස්. වික්‍රම

ඇත්තටම අපි පොරවල්ද..? මධ්‍යස්තව සිතමු..


මේ රටේ ජීවත් වන අප විවිධ අවස්තාවන් වලදී විවිධ හේතූන් මත ජන වාර්ගික ගැටුම් වලට මැදිහත් වී ඇත්තෙමු. නැතහොත් අසා දැන ඇත්තෙමු. මේ මගේ රට, මේ මගේ ජාතිය, මේ මගේ අාගම ආදී මමත්වය පෙරටු කර ගත් දැක්මකින් ගැටලු දෙස බැලීම මෙයට හේතුව ලෙස මා දකිමි.

 

අතීතයේ පටන් ශ්‍රී ලාංකිකයින් වශයෙන් මෙරට ජීවත්වූ ජනයා හුදෙක් සිංහලයාමය යන නිගමනයේ සිටිමින්, සිංහල අප පමණක් මේ රටේ උසස් යැයි ස්වයං මනෝභාවයකින් පෙලෙමින් අන්‍ය ජන වර්ගයන් පහත් කොට සැලකූ සහ සැළකීමට පෙළඹවූ මානසිකත්වයක් යටතේ පැවත එති. එහෙයින් සියලූම වරප්‍රසාද සහ අයිතීන් පළමුව සිංහලයටත්, දෙවනුව අනෙක් ජන වර්ග වලටත් ලැබිය යුතු යැයි සංකල්පයක් අප සමාජයේ මුල් බැසගෙන ඇත.

 

අතීතයේ විසූ පාලකයින්, විරුවන්, දේශමාමකයින් ආදී නොයෙක් ස්වරූපයෙන් ලංකාවේ ඉස්මතු වූ පුද්ගලයින් බොහෝ විට කතාකොට ඇත්තේ සිංහලයා වෙනුවෙනි. ඒ සැබවින්ම මිනිසා අවධි කිරීමට විනා ජාතිවාදයකට නොවේ. එහෙත් එසේ නැතුවාමද නොවේ. නමුත්, එවකටද මේ රටේ සිංහල, දෙමල, මුස්ලිම්ආදී විවිධ ජන කොටස් ජීවත්ව සිටියහ. එහෙත්  එම කතා වලින්, හැසීරීම් වලින්, භාවිතයෙන් අනෙක් ජන වර්ගයාගේ මානසික මට්ටම පහතට ඇද දැමූ බව බොහෝ දෙනෙකු පිළි නොගන්නා සත්‍යයක් වී ඇත. එසේ නොවී කල යුතුව තිබුනේ ශ්‍රී ලාංකිකව පොදු ජාතියකට ඇමතීමය. එය සිංහල, දෙමල, මුස්ලිම් සහ වෙනත් සෑම ජන වර්ගයාම ඇතුලත්වන පරිද්දෙනි. මන්ද යත්, මේ රටේ සිදුවූ සියලු ගැටුම්කාරී තත්වයන් නිර්මාණය කලේ ජාතියක් වශයෙන් ( දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය) නොව, ඔවුන් විසූ ජන වර්ගයේ ඇතැම් අන්තවාදී පුද්ගලයින් කිහිප දෙනෙකු විසිනි. එහෙත් බහුතර එම ජාතියේ මිනිසුන් රටක් වශයෙන් ඒකීයව සමගිව විසීමට කැමති වෙති.

 

කෙසේ වෙතත් සිංහලයා පමණක් මුල් කරගත් තත්වයන් දිනෙන් දින වර්ධනය වෙද්දී එකම රටක් තුල අසමාන සැළකීම් ලැබීමට කිසිවකු කැමති වූවේ නැත. එම තත්වය යටතේ වූවද රටේ ප්‍රධාන පාලකයාගේ සිට සියලූම පරිපාලන යාන්ත්‍රණ දියත් වූවේ සිංහල ජන වර්ගය මුල් කර ගත් සමාජ වටපිටාවක් තුලදීය. හාල් පෝලිම, පාන් පෝලිම ආදී අතීතයේ පැවති සළාක ක්‍රමයේදී පෝලිම් පැන ඉදිරියට ගොස් බලහත්කාරයෙන් සිය වාරය උදා කර ගත්තෝ සිංහලුන්මය. එවකටද එම පෝලිම් වල සියලු ජන වර්ගයන් සිටියහ. එහෙත් සමාජයේ රෝපිත සිංහල කම විසින් අනෙක් ජන වර්ගයා අපහසුතාවයට පත් කරමින් හෑල්ලුවට ලක් කරමින් ඉදිරියට ගිය හැටි බොහෝ දෙනෙක් දන්නා කරුණකි. එහෙත් පිළිගැනීමට මැලි වෙති. අදටත් එම තත්වය එසේමය.  එකල්හිදී සිය අසරණ භාවය වෙනුවෙන් හඬක් නැගීමට නොහැකි බහුතර මිනිසුන් නිශ්ශබ්දව පසුපසට ගියේ සැබෑවටම ඔවුන්ගේ අසරණ භාවය නිසාමය.

 

පසු කාලීනව ආරම්භ වූ වර්ගවාදී, ජාතිවාදී ඊළාම් යුද්දයේදීද ශ්‍රී ලංකාවේ සිංහලයින් පමණක් ඉස්මතු වෙමින් දෙමළ ජනයා පාගා දමමින් සිංහල කම මුදුන්පත් කිරීමට වෙහෙසුන හැටි මට මතක් වේ. එහෙත් එවකට යුද්දය අරබයා ලියවූ විවිධ සාහිත්‍ය කෘතීන් පමණක් නොව ගීත වලින්ද කියැවුනේ එකම රටක්, එකම ජාතියක් ආදී සංකල්පයන්ය. නමුත්, එය ප්‍රායෝගිකව යොදා ගැනීමට කිසිවෙකුත් උනන්දු වූයේ නැත. එකම රටක් තුල ජන වර්ගයා දෙකට බෙදී යුද වදිද්දී එම යුද ගිනි නිවීමට උත්සහ කරනු වෙනුවට දේශමානය, ජාතිමානය උතුරා යන සටන්පාඨ වලින් සමාජය සන්නද්ධ වූහ. එයද සිංහලයා මුල් කරගත් සටන් පාඨ වලිනි. එහෙත්, එම ක්‍රියාවන් තුලින් ශ්‍රී ලාංකීය ජාතියක් කියන සංකල්පය ඉස්මතු වීමට වඩා කැපී පෙනුනේ සිංහල ජාතියේ උදාරත්වය පමණි.

 

මෙම තත්වය හමුවේ ඇති ගැටලු කිහිපයකි. එනම්, සිංහල වූ අප මෙන්ම මේ රටට ආදරය කරන සහ එකම ජාතියක් යන හැඟීම ඇති දෙමළ, මුස්ලිම් සහ තවත් ජන කොටස් සිටින බැවිනි. නමුත්, සිංහලයා පමණක් උදාර කරමින් ගීත ගැයෙද්දී සටන් පාඨ ලියවෙද්දී දෙමළ, මුස්ලිම් ජනයා හට එම අයිතිය ලැබී නැත. මේ රට අපේ යැයි හඬගා කීමට සිංහලයාට හැකි වූවත්, එකම රටක් තුල වෙසෙන දෙමල සහ මුස්ලිම් අයට එසේ කීමට බැරිය. නිකමට හෝ අවංකවම ජාතිමාමකත්වයෙන් මෙය අපේ රට යැයි දෙමලෙකු හෝ මුස්ලිම් මිනිසෙකු පැවසුවහොත් තත්වය කෙබඳු වේදැයි මදක් සිතා බලන්න. එහෙත්, ඒ අයිතිය එකම රටක පුරවැසියන් වූ අපට මෙන්ට ඔවුන්ටද එක හා සමානව හිමි විය යුතු බවට පිළි ගැනීමට තබා සිතීමට වත් සිංහල අප උත්සහ කරන්නේ නැත.

 

දෙමළ ජනයා මෙරටේ හුදෙකලාවූ ජන කොටසක් බව විවිධ පාර්ශ්ව චෝදනා කරද්දී ගැටලුවට නිවැරදි පිලියම් යොදනවා වෙනුවට සංකේතමය වෙනස්කම් පමණක් සිදු කිරීමට පාලකයෝ පියවර ගත්හ. දෙමළජනයා දමිල වූයේ එසේය. දේශපාලනික වශයෙන් ඔවුන්ට හිමි නිසි තැන ලබා දෙනවා වෙනුවට සීනිබෝල ක්‍රියාමාර්ග මගින් ඔවුන් රැවටීමට ගත් උත්සහයේ ප්‍රතිපල වල අදටත් වෙනසක් සිදුවී නැත. ශ්‍රී ලාංකික ජාතියක් තුල සිංහල දෙමල මුස්ලිම් වශයෙන් බෙදීමක් ඇතිකර සමාජ මට්ටම් එකම තලයක නොපිහිටා අසමාන අයුරින් සැළකීම පාලකයාගේ දේශපාලනික වාසි වෙනුවෙන් යෙදූ උප්පරවැට්ටියක් බව උදාර යැයි බෙරිහන් දෙන සිංහල අපිද වටහා නොගැනීම කණගාටුවට කරුණකි.

 

පුංචි උදාහරණයක් මගින් මෙම තත්වය හඳුනා ගැනීමට උත්සහ කරමු. එය මෙසේය…

 

ඔබ ඔබගේම නෑදෑයෙකුගේ නිවසක නැවතීමට යන බව සිතන්න. එහි ගොස් ඔබ බලාපොරොත්තු වන්නේ ඔවුන් හා සතුටින් සමාදානයෙන් සිටීම බව ඒකාන්තයෙන්ම පිලිගන්නා කරුණකි. ඔවුන් ඔබගේ නෑදෑයන් වන්නේ ඔබගේ පවුලේ ඇති බැඳීම මතය. එහෙත්, එම නිවසේ අය ඔබට සළකන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ නිරන්තර අවධානයෙන් පසුවේ. ඔවුන් කෑමට ගෙනෙන දේ ඔබට නොදී තනියම භුක්ති විඳිනවානම්, ඔබට නවාතැන් ගැනීමට නිවසින් බැහැර හෝ හුදෙකලා තැනක් පිළියෙල කර දෙනවානම්, ඔබගේ පහසුකම් ගැන සැළකීමක් නොදක්වනවා නම්, ඔබ රූපවාහිණිය හෝ වෙනත් යමක් පාවිච්චි කරන විට එය ඔවුන්ට ඕනෑ වෙලාවට පමණක් ක්‍රියාත්මක කරනවානම්, ඔබ එම පවුලේ අය සමග සම්බන්ධ කර නොගෙන ඔබට වෙනස්ව සළකනවානම්…. ඔබේ මානසික තත්වය කුමක් වේද..??

 

එලෙසම සිතා බලන්න මේ රටේ අනෙකුත් ජන වර්ගයා ගැනත්. ඔවුන්ට මේ රටේ පුරවැසිකම ලබාදී ඇත්නම්, ඔවුන් මේ රටේ නීත්‍යානුකූල පදිංචි කරුවන් නම් ඔවුන්ටද සමානව සැළකීම අනිවාර්ය මෙන්ම සදාචාරසම්පන්න ක්‍රියාවකි. එසේ නොමැති කල  ඔබට සිය ඥාතියාගේ නිවසේ ඇතිවූ තත්වයම ඔවුන්ටද ඇති වනවා නොඅනුමානය. මන්ද යත්, මේ රටේ ඥාතීත්වය ඔවුන්ටද බැඳී ඇති බැවිනි. එහෙයින් එකම රටක් තුල සියලු ජනයා සමානව සළකනවා විනා සිංහල ජාතිය පමණක් උසස් යැයි පැවසීම යුක්ති සහගත නොවේ.

 

එහෙත්, ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම් හෝ දෙමළ අයවලුන් සිංහලයාට හානිදායක හෝ සිංහලයා නැති කිරීමට උත්සහ දරන පිරිසක් වශයෙන් හැඳින්වීමක්ද දක්නට ඇත. නමුත් දීර්ඝ කාලයක් මුල්ලුලේ පවතින අඩු සැළකීම් තුල ඔවුන්ගේ දරුණු ඉස්මතු වීමක් අපේක්ෂා කල හැකි බවද අප සිහි තබා ගත යුතුය. මන්ද යත්, ඔවුන්ද මේ රටේ පුරවැසියන් බැවිනි. ලංකාවේ උතුම්, උදාර, ශ්‍රේෂ්ඨ…. ආදී වචන වලින් හඳුන්වාගනු ලබන සිංහලයින් ඔතරම් උතුම් නම් අන්‍යයන් හට අපිට එසේ හානියක් කිරීමට හැකි වේද..? කිසිම විටෙක බලසම්පන්න ජාතියකට හානියක් කිරීමට සුලු ජාතියකට හැකි වේද..? එය සිනා උපදවන ප්‍රකාශයක්ම නොවේද..? මදක් සිතන්න………..

 

මෙය හුදෙක් පටු අරමුණු මුල් කරගත් දේශපාලනික උප්පරවැට්ටි විනා සැබෑවක් නොවන බව ඔවුන් ඇසුරු කරන සිංහලයින් හොඳින් දන්නා කරුණකි. මෙම දුර්මත සමාජයේ රෝපණය කරන්නේ පාලකයින්ගේ සුභසිද්දිය උදෙසා බව පසක් කර ගැනීමට නොහැකි සිංහලුන්ගේ උදාරත්වය ගැන මට ඇත්තේ කණගාටුවකි. සියලු ජනයා සහයෝගයෙන් සාමකාමීව සිටීම තරම් කොඩිවිනයක් ඕනෑම පාලකයෙකුට නැත්තේය. එහෙයින් හැකිතාක් සමාජය අවුල් කර ජනතාව අතර අසමගිය වෛරය පතුරුවා හැරීමට ඔවුන් හැකි සෑම උත්සාහයක්ම දරනු ඇත. එහෙත් ඒවා බුද්ධියෙන් විමසා බලා සුදුසු ලෙස ක්‍රියා කිරීම රටක සියලු පුරවැසියන් සතු යුතුකමක් හා වගකීමක්ද වන්නේය.

 

මේ ජාතිමාමක ගීත කිහිපයකි…

 

“සෙන්කඩගල පුර දළදා බුදුරැස් විහිදෙන තුරු නෑ වරදින්නේ..

සිංහලයන් හට සිංහල දේශෙට සරණයි දළදා සමිදුන්ගේ..”

 

” මේ උදාර ලංකා භූමියයි.. වීරදාර මා උපන් බිමයි..

මේක සිංහලුන් උපන් රටයි.. තේජමාන ජාතියේ නමයි..”

 

මෙම ගීත දෙස බලන්න.. මෙහි පළමු ගීතයෙන් කියවෙන අදහස අනුව දළදා හිමිගේ සරණ ලැබෙන්නේසිංහලයාට සහ සිංහල දේශයට පමණකි. එහෙත් බුදුන් වහන්සේ ජාති, කුල, ආගම් බේද නොසළකා සියලු සත්වයින්ට කරුණාව මෛත්‍රීය දැක්වූ බව සෑම දෙනාම දන්නා කරුණකි. විවිධ ජාතීන් වෙසෙන එකම රටක් තුල මෙවැනි ගීත ඇසෙන විට දෙමල හෝ මුස්ලිම් අයගේ ආකල්පය කුමක් වේද..? මේ අයුරින්ම ඔවුන් ගීතයක් නිර්මාණය කලා කියලා සිතමු.. එවිට සිංහල අපගේ ආකල්පය කුමක් වේද..? නිසැකවම ගැටුමකට මුල නොවේද..? ල‘කාවේ බහුතරය සිංහලයින් බව සැබෑවකි. නමුත් ඒ ජන අනුපාතයෙන් මිසක් ජාතියක් වශයෙන් උස් හෝ පහත්ව නොවේ. එහෙත් ඔවුන්ගේ සහ අපගේ ජනයා බෝවීම දෙස බලන කල ඔවුන් අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටී. නමුත්, අප සතු ඉඩම් ඔවුන්ට විකිණිම ප්‍රතික්ෂේප කරමින්, ඔවුන්ගේ ව්‍යාප්තිය අහුරාලමින් කටයුතු කිරීමට අප මැලි නොවේ. ඒ අපගේ සිංහල කම අංක එකේම තබා ගැනීමටම නොවේද..?

 

ඉන්පසු දෙවන ගීතය බලන්න..මේක සිංහලුන් උපන් රටයි.. තේජමාන ජාතියේ නමයි.. දැන් මේ තේජමාන ජාතිය ලෙස හඳුන්වන්නේ සිංහලයා පමණකි. එතකොට මේ රටේ වෙසෙන අනෙක් ජන වර්ග අයිති මොන කුලකයටද..? මේ ගැන ඔවුන්ගෙ සිතුම් පැතුම් කෙබඳු වේද..? මේ තුලින් අප නොදැනුවත්වම සිංහලයා කියන කුලකය මුදුන්පත් කොට අනෙකා පාගා දැමීමේ සියුම් මානසිකත්වයක් අප තුල ගොඩ නැගෙනවා නේද..? දැන් නැතත් යම් සිදුවීමක් වූ විට මෙම ගීත ඇසුන හොත් අපගේ ලේ ගමනාගමනය උච්ච වී අප ප්‍රචණ්ඩත්වයට පත් වෙනවා නොවේද..? එහෙයින් සියලු තත්වයන් මැනවින් අවබෝධ කර ගැනීම සියලූම පුරවැසියන් සතු යුතු කමක් සහ වගකීමකි. එකම රටක් තුල වෙසෙන සියලූම ජනයාට එකහා සමානව සැළකීමට අප සියලු දෙනාම කටයුතු කල යුතුය. බොහෝ ප්‍රෙද්ශ වල සිංහල සහ දෙමළ හෝ මුස්ලිම් අය අතර විවාහ පවා සිදුවී ඇත. එහෙත් කිසිදු විටෙක ඔවුන් තුල මේ බෙදීම ඇතිවී තිබේද..? නැත.. මන්ද යත්, ඒ ඔවුනොවුන් කෙසේ හෝ නෑදෑයන් බැවිනි. එසේ නැඳෑයින් ලෙස සැළකීමට හැකි වන්නේ නම්, එකම රටක් තුල සහජීවනයෙන් වෙසෙන්නට නොහැකි වී ඇත්තේ මන්දැයි මදක් සිතා බලන්න.

 

සියලු ජන කොටස් වෙසෙන මෙවැනි රටක හැසිරීම, භාෂාව, ආකල්ප සහ නිර්මාණද ඉතාම පරෙස්සමින් භාවිතා කල යුතුය. අතීතයේ පටන්ම මේක සිංහලයගේ රට යැයි පාරම් බාමින් අනෙක් ජන කොටස් තලා පෙලා හුදෙකලා කිරීමට සැවොම උත්සහ කලද, එම උත්සහයන්ගේ දරුණු ප්‍රතිපල අපි විටින් විට අත්විඳ ඇත. වර්තමාණයේ පවතින මුස්ලිම් ගැටලුවද මෙයාකාර වේ. එසෙනම් සිංහල පමනක් මෙහි රඳවා අනෙක් සියලූම ජන කොටස් මෙරටින් පිටුවහල් කල යුතුය. එවිට සිංහල කම ගැන ඕනෑ තරම් පාරම් බාන්නට හැකිය. එහෙත් සියලු ජන වර්ගයන් එකට ජීවත් වන ශ්‍රී ලංකාවේ සිංහල පමනක් උසස් යැයි සම්මත මෝඩ චූන් එක තම තමන් විසින් මධ්‍යස්තව විමසා බලා නතර කර නොගත හොත්, ඉදිරියේදී ඇතිවන මහා ව්‍යයසනයකට නතුවන මිනිස් ජීවිත ප්‍රමාණයට අපද වග කිව යුතු වන්නේය..

 

ඒ.එම්.එස්. වික්‍රම.